මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරියෙකුව සිටි බැවින් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන අධිකරණ විමර්ශනයකදී තමන්ට රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඒ බව පවසන්නේ සිය නීතිවේදීන් මාර්ගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමිනි.

සිය පියා ඝාතනය කිරීමට “කුමන්ත්‍රණය කිරීම, සහය දීම සහ/හෝ අනුබල දීම” සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ නියෝගදීමේ වගකීමෙන් බැඳෙන බවට චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාගේ දියණිය, අහිම්සා වික්‍රමතුංග, කැලිෆෝනියා අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනුකරනු ලැබ තිබේ.

සිය සේවාදායකයා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු අවධාරණය කරති.

ඒ අතරම ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන කරුණු තුන හේතුවෙන්:

1. විත්තිකරුට එරෙහිව චෝදනාව එල්ල කර තිබෙන්නේ ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් බැවින් ඔහුට විදේශික රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය (foreign official immunity) හිමිවීම

2. චෝදනාවලට අදාළ සියලු සිදුවීම හටගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතරම, විත්තිකරු මේවනවිට ශ්‍රී ලංකාවේ වාසය කරන අතර පැමිණිලිකාරිය ද විදේශයක වාසය කරන බැවින් මේ නඩුකරයට එක්සත් ජනපදය කිසිදු අයුරකින් සම්බන්ධ නොවීම නිසා එක්සත් ජනපදයට ඒ සම්බන්ධ අධිකරණ බලයක් නොමැතිවීම

3. ශ්‍රී ලංකාවේ අධිකරණයට ගරු කරමින් සහ මෙම නඩු විභාගය සඳහා එක්සත් ජනපද අධිකරණයට වඩා ශ්‍රී ලංකාවේ අධිකරණය සුදුසු ස්ථානයක් වීම

කැලිෆෝනියා අධිකරණය එම නඩුව විභාග නොකර ප්‍රතික්ෂේප කළ යුතු බව හිටපු අගවිනිසුරුවරයෙකු වන අශෝක ද සිල්වා ඇතුළු නීතිවේදීහු විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මෝසම ඉදිරිපත් කරමින් තර්ක කරති.

අදාළ මෝසම පිළිබඳව කරුණු විමසීම පිණිස බීබීසී සිංහල සේවය ගෝඨාභය රාජපක්ෂ ඇමතූ විට, ඒ අවස්ථාවේ කාර්ය බහුල බැවින් පසුව අමතන මෙන් ඔහු ඉල්ලා සිටියේය,

එම මෝසම ලබන මස 16 වෙනි දින විනිශ්චයකාර මැනුවෙල් එල් රියල් (Manuel L. Real) ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

සිය මෝසමෙන් ගෝඨාභය රාජපක්ෂ මතුකරන තර්කය පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ නීතිවේදී උපුල් කුමාරප්පෙරුම කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවිය යුතු බවට තර්ක කිරීම මගින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් “රාජ්‍යයට වගකීමක් තිබෙන බව ඔහු ව්‍යංගයෙන් පිළිගෙන” ඇති බවය.

ඒ පිළිබඳව අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න, ගෝඨාභය රාජපක්ෂගේ නීතිවේදීන් සිය මෝසම මගින් ඉදිරිපත් කර තිබෙන්නේ ඇමෙරිකානු අධිකරණය ඉදිරියේ හිටපු විදේශීය නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වූ අවස්ථාවල සාමාන්‍යයෙන් මතුකරන තර්ක බව පෙන්වා දෙයි.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ඒ බව කියා සිටි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කලණ සේනාරත්න, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය එහුඩ් බරාක්ට එරෙහිව ඉදිරිපත් වූ මෙවැනිම නඩුවක් විදේශික රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය යටතේ එක්සත් ජනපද අධිකරණය විසින් මෑතදී ප්‍රතික්ෂේප කරන ලද බැවින් ගෝඨාභය රාජපක්ෂට එරෙහි චෝදනාව ද එසේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පවතින බව සඳහන් කළේය.

කෙසේ වුවත්, එවක එහුඩ් බරාක් ආරක්ෂක අමාත්‍යවරයා වූ අතර, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පමණක් වූ බැවින් ආරක්ෂක අමාත්‍යවරයෙකුට හිමිවන ආකාරයේම මුක්තියක් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ද හිමිවනු ඇතිද යන්න නුදුරේදීම දැකගැනීමට හැකි වනු ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයාගේ අදහසය.

ලසන්ත ඝාතනයේ පසුබිම

  • 2009 ජනවාරි 8 – රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.
  • 2010 පෙබරවාරි 26 – ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.
  • 2010 පෙබරවාරි 26 – එදිනම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ද පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.
  • 2010 මාර්තු – හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැරිණ.
  • 2011 ඔක්තෝබර් 13 – අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.
  • 2013 සැප්තැම්බර් 6 – නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා අධිකරණය විසින් නිදහස් කරනු ලැබිණ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළේය.
  • 2014 ජනවාරි 8 – “ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල,” යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේය. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
  • 2015 ජනවාරි 10 – බලයට පත්වූ නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීය.
  • 2015 ජනවාරි 21 – ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
  • 2015 අගෝස්තු 6 – ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය.
  • 2016 පෙබරවාරි 17 – ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය.
  • 2016 ජුලි 16 – ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.
  • 2016 ජුලි 27 – අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, ලසන්ත ඝාතනයෙන් පසු දිනක තමන්ට තර්ජනය කළ පුද්ගලයා බව ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනා ගත්තේය. මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
  • 2016 සැප්තැම්බර් 27 – නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගැණින.
  • 2016 ඔක්තෝබර් 16 – “ලසන්ත ඝාතනය කළේ මම, එම නිසා මගේ යාළුවා වන උදලාගම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න, මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න,” සිය දිවි නසාගත් විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකුගේ සාක්කුවේ තිබූ ලිපියක සඳහන් විය. නමුත්, මෙය පරීක්ෂණ නොමග යැවීමට කළ උපක්‍රමයක් බව පොලීසිය සැක කළේය.
  • 2016 දෙසැම්බර් 21 – ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇති වූ සුහද කතාබහක් ඇතුළත් හඬ පටයක් අන්තර්ජාලයට එක් කර තිබිණි.
  • 2017 ජනවාරි 21 – ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
  • 2017 මාර්තු 20 – ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.
  • 2017 මාර්තු 20 – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව පවත්වාගෙන ගිය ඝාතන කල්ලි සිටි බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.
  • 2017 මාර්තු 27 – විදේශ මාධ්‍යවේදීන් අමතමින් ගෝඨාභය රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් එවක එක්සත් ජාතික පක්ෂයේ නායකයන් චෝදනා කළේ සරත් ෆොන්සේකාට බව පැවසීය.
  • 2018 ජනවාරි 18 – ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. පරීක්ෂණයට අදාළව මේ වනවිට 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.
  • 2018 පෙබරවාරි 2 – ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත අත්අඩංගුවට පත් විය.
  • 2018 පෙබරවාරි 14 – සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර ද අත්අඩංගුවට පත්වුණේය.
  • 2018 පෙබරවාරි 21 – ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මෙම ඝාතන පරීක්ෂණ පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේය.
  • 2018 මාර්තු 30 – ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත අතුරුදහන්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
  • 2018 ජුලි 2 – හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර හා ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ඇප මත නිදහස් විය.
  • 2018 නොවැම්බර් 18 – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීමෙන් අනතුරුව දින කිහිපයක් තුළදී අදාළ ඝාතන පරීක්ෂණය මෙහෙය වූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්ථාන මාරුවකට ලක්විය.
  • 2018 නොවැම්බර් 20 – ආන්දෝලනයකට තුඩු දුන් නිශාන්ත සිල්වාගේ හදිසි මාරුව අවලංගු කෙරිණි.
  • 2019 අප්‍රේල් – සිය පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කළාය.

(උපුටා ගැනීම – BBC සිංහල සේවය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here