රථවාහනවල වර්ණ හා අනවසර වෙනස් කිරීම්, අනවශ්‍ය ශබ්ද සහිත නලා හා අමතර කොටස් සවිකර තිබීම,ධාවනයට නුසුදුසු තත්ත්වයේ රථවාහන වැනි මගීන්ට හා අනෙක් වාහන වලට හිරිහැරයක්වන සියල්ල සොයා බැලීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව සෑම දිනකම පැය 03 බැගින් දවසකට දෙවරක් සිදු කළ යුතු යැයි වැ.බ පොලිස්පති වශයෙන් නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඉකුත් ජනවාරි 01 වන දින පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට නිල දැන්වීමක් කර ඇත.
ඊයේ පෙරේදා විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍යවල මාතර වෙරළ පිරිසිදු කිරීමේ “සුපිරි වැඩක්” යැයි තරුණ තරුණියන් කිහිප දෙනෙකු ප්ලාස්ටික් බෝතල්, සිලිසිලි බෑග්, ටින් කෑලි, කඩදාසි කෑලි, අහුලන විඩියෝවක් විකාශනය විය.
තවත් වාර්තාවක් කියුවේ ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාල වලද “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන් දියත් කළ බවය. ඒ අතර යූටියුබ් නාලිකාවල “අපි කාමරේ ක්ලීන් කරමු – කුස්සිය ක්ලීන් කරමු – එන්න මල්වත්ත ක්ලීන් කරමු” යැයි විනාඩියක දෙකක විඩියෝ පට කිහිපයක් දුටිමි.
ඇත්තටම “ක්ලීන් ශ්‍රී ලංකා” වලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එහි නිල වෙබ් අඩවියට අනුව, මූලාරම්භය ඇත්තේ “ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වඩාත් පිරිසිදු, හරිත හා තිරසර බවට උසස් කරලීම අරමුණු කරගත් දීප ව්‍යාප්ත ව්‍යාපෘතියකය”.
ඒ අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” සතු පරමාර්ථ 04 කි.
1. සදාචාරාත්මක භාවිත වැඩි දියුණු කිරීම, දූෂණය සඳහා ශුන්‍ය ඉවසීම, මහජන වගවීම සහ “ත්‍යාග විශිෂ්ටත්වය” (???)
2. පාරිසරික වගකීම සහ සමාජ විඥාණය පිළිබඳ චින්තනයක් ඇති කිරීම
3. ස්වාභාවික සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීම මගින් පිවිතුරු හා තිරසර පරිසරයක් සහතික කිරීම සහ
4. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්බන්ධීකරණය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අපද්‍රව්‍ය කලමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම වන්නේ ය.
මේවා ඉංග්‍රීසියෙන් සිතා ඉංග්‍රීසියෙන් ලියූ ජනාධිපති අනුර කුමාර ගේ කොළඹ ඉහළ මැදපංතික විශේෂඥ උපදේශකයින්ගේ කතා බැව් නිල වෙබ් අඩවිය කියවූ විට පැහැදිලි වන්නකි. පසුව අවුල් සහගත, තේරුම් ගැනීමට අපහසු සිංහලයකට පරිවර්තනය කෙරුවකි.
අංක 01 හි “ත්‍යාග විශිෂ්ටත්වය” යැයි කියන්නේ ඉංග්‍රීසියෙන් “rewarding best practices” යැයි කියා තිබෙන්නටය. සිංහලෙන් එය කිව යුත්තේ “…. විශිෂ්ට ක්‍රියාකාරකම් සඳහා ඇගයීම්” යැයි කියා ය. අංක 02 ලෙස සිංහලෙන් ලියා ඇති “….සමාජ විඥාණය පිළිබඳ චින්තනයක් ඇති කිරීම” යන්න ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ “සමාජ සවිඥාණකත්වයක් ඇති මානසිකත්වයක් පෝෂණය කිරීම” (Foster a mindset of social consciousness) යනුවෙනි. එවැනි අපබ්‍රංස සිංහල යෙදීම් වලට හේතුව මෙය “පිවිතුරු ශ්‍රී ලංකා” යැයි නොකියා, සිංහල එෆ්.එම් නාලිකාවල භාවිත කෙරෙන සිංග්ලිෂ් වලින් “ක්ලීන් ශ්‍රී ලංකා” යැයි “Brand” කිරීමෙන්ද පැහැදිලි කෙරෙන්නෙකි.
කෙසේ නමුත් මෙය “අපේ පමණක් නොව, ඔබේත් වගකීමක්” යැයි ජනාධිපති සමග ආණ්ඩුවේ නායකයින් ජනතාව මත සියලු වගකීම් පටවමින්, “ස්වේච්ඡා ක්‍රියාකාරීන්” යැයි තරුණ පිරිස් ගොනු කර ගැනීමෙන් සහ අන්තර්ජාලය හරහා දානපතියන්ගෙන් අරමුදල් එකතු කිරීම් කල් තියා කියන්නේ මෙහි ප්‍රදර්ශනාත්මක හා ප්‍රචාරාත්මක අන්තර්ගතයක් මිස වෙනකක් නොමැති බවය.
මෙහි ඇති කිසිවකට ස්වේච්ඡා ක්‍රියාධරයින් මගින් විසඳුම් දිය නොහැකිය. වෙරළ අපිරිසිදු කිරීමට එරෙහිව තරුණ කණ්ඩායම් ඔවැනි රොඩු-බොඩු එකතු කිරීමේ “ශ්‍රමදාන” පසුගිය දසකයකට වැඩි කාලයේ අප්‍රමාණව ක්‍රියාවට දමා ඇත. වෙරළ සම්බන්ධව ඇති ප්‍රධානම හා බරපතලම ප්‍රශ්නය වන්නේ ඔවැනි රොඩු-බොඩු මගින් වෙරළ අපවිත්‍රවීම නොවේ. බරපතලම ප්‍රශ්නය වන්නේ කෙළවරක් නැතිව කිලෝමීටර ගණන් එක දිගට, ඉදිකර ඇති අනවසර ගොඩනැගිලිය. ඒවාට වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කරමින් ලබා දී ඇති අවසර පත් ය. ඉඳහිට වෙරළේ රොඩු-බොඩු ඉවත් කළ පමණින් වෙරළ ඛාදනයට හා පරිසර විනාශයට හේතුවන අනවසර ඉදිකිරීම් ඉවත් වන්නේ නැත.
පොලීසිය විසින් මගී බස් රථවල අනවශ්‍ය ශබ්ද සහිත නලා හා ත්‍රීරෝද රථවල අමතර කොටස් සවිකර තිබීම මීට පෙර කිහිපවර තහනම් කර තිබිණ. මගීනට අවහිර වන ආකාරයේ වාහන ධාවනයට දඩුවම්කර ඇත. වසරකට වරක් හෝ දෙකක් පාසල්වල රජයේ කාර්යාලවල ශ්‍රමදාන මගින් පිරිසිදු කිරීම් කෙරෙන්නේය. මේ කිසිත් අලුත් නැත. මේවාද කාලයක් පුරා අප අවට සිදුවූ තාවකාලික වැඩ ය. මෙහි අලුත් බවක් ඇත්තේ මෙවර ජනාධිපති විසින් ඒ සියල්ල “රටම පිරිසිදු කිරීමේ” ජාතික වැඩපිළිවෙලක් ලෙස ජනවාරි පළමු දින දිගු කතාවක් මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙහි පමණි.
“ක්ලීන් ශ්‍රී ලංකා” සිව් වැදෑරුම් පරමාර්ථ ඉටුකර ගැනීමේ “මෙහෙවර” ලෙස සඳහන් වන්නේ “ජාතික වශයෙන් වන පාරිසරික, සමාජීය සහ (ආණ්ඩු) පාලන මූලාරම්භ වෙනස්කම්, අන්තර්ග්‍රහණ සහ හවුල්වීම් මගින් අලුතින් ස්ථානගත කිරීම” යනුවෙනි (සිංහල වෙබ් අඩවියෙහි ඇති පරිවර්තන අවුල නිසා මෙය ඉංග්‍රීසි අඩවියෙන් ගත්තකි). එවැනි නව ස්ථානගත කිරීම් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තත් ඒවා “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ලෙස ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරීන් මගින් කළ හැකි නොවේ.
අද අවශ්‍ය වන්නේ දේශපාලන බලපෑමෙන් තොර, සමාජ වගකීම් ස්වාධීනව, කාර්යක්ෂමව හා දූෂණයෙන් තොරව ඉටු කරන්නාවූ රාජ්‍ය සේවාවකි. ඒ වෙනුවෙන් වන දුර දිග යන ප්‍රතිසංස්කරණ සහිත ව්‍යුහාත්මක ප්‍රතිසංවිධනයකි. වෙරළ සංරක්ෂණ නීති කොන්දේසි උල්ලංඝණය කර ඉදිකර ඇති නීති විරෝධී ගොඩනැගිලි ඉවත් කිරීමේ ස්වාධීන තීන්දු ගත හැකි කාර්යක්ෂම රාජ්‍ය සේවාවකි. දේශපාලන හා මුදල් බලය මත අනවසර කැලෑ කැපීම් නතර කළ හැකි ස්වාධීන, කාර්යක්ෂම රාජ්‍ය සේවාවකි. දේශපාලනයෙන් තොර සාධාරණව, යුක්ති සහගත ලෙස “අස්වැසුම” ක්‍රියාත්මක කරන්නාවූ රාජ්‍ය සේවාවකි.
වාහන වර්ණ හා අනවසර වෙනස් කිරීම්, අනවශ්‍ය ශබ්ද සහිත නලා හා අමතර කොටස් සවිකර තිබීම, ධාවනයට සුදුසු තත්ත්වයේ රථවාහන තිබේද යන කාරණා පිරික්සීමෙන් පසු වාර්ෂික ආදායම් බල පත්‍ර නිකුත් කරන්නාවූ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන ය. අද අත්‍යාවශ්‍ය වන්නේ එවැනි දුර දිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි. ස්වේච්ඡා ක්‍රියාධරයින් නිත්‍ය රාජ්‍ය සේවාවකට ආදේශකයින් නොවන්නේ එනිසා ය.
එවැනි නව ස්ථානගත කිරීම් සඳහා වන ශක්‍යතාවක් ඇති රාජ්‍ය සේවාවක් වෙනුවෙන් පළමු හා ඉතාම වැදගත් දේශපාලන අවශ්‍යතාව වන්නේ ආණ්ඩුව සතු වැඩපිළිවෙල ය. ආණ්ඩුව එය සමාජ කතිකාවකට තබන්නේද නැද්ද යන්න, ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කවරක්ද යන්න තීන්දු කරන්නකි. ඒ අර්ථයෙන් ගත් විට මේ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය සිල්ලර සෙල්ලමකි. මෙවැනි කොස්සකින් අතු ගා ශ්‍රී ලංකාව “ක්ලීන්” කළ නොහැක. මාලිමා ආණ්ඩුව අගට ගෙන ඇති මේ කොස්ස තව මාසයකින් හමාරකින් පැත්තකට දමන්නට සිදු වන්නකි.
කණගාටුවට කරුණ නම්, මෙයට හවුල්වන තරුණ ස්වේච්ඡා ක්‍රියාධරයින් ඉන්පසු සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී