ලබන මස සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුවද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.   

මහනුවරදී 11 දින විශේෂ ප්‍රකාශයක් සිදුකළ  ඒ මහතා කියා සිටියේ ජනතාවට හැකි උපරිම සහන ලබා දීමට රජය වශයෙන්  පියවර ගන්නා බවය.  

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. මින් ඉදිරියට  ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් ජනතාව පීඩනයට පත් කිරීමට අපි  කටයුතු කරන්නේ නෑ. ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි විදුලිය. ඉතින් විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අපි අඩු කරනවා.

මේ වන විට ජනතාවට යම් ආර්ථික ගැටලු තිබුණත් ක්‍රම ක්‍රමයෙන් එම ගැටළු අඩුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන්ද ඒ මහතා කීය.

(කමල් සුරවීර – මහනුවර)                                  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here