වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් කම්කරු කොංග්‍රසයේ සහාය අනිවාර්යයෙන්ම එතුමාට ලබා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අවධාරණය කරයි.
මහනුවරදී 11 දින අදහස් පල කල ඒ මහතා මෙසේද කීය. අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට පත්වූ අවස්ථාවේ වගකීම් භාර ගැනීමට බියෙන් සියලු දෙනා පසුපසට ගියත් එතුමා නිර්භයව අභියෝගය බාරගත්තා. දැන් එතුමා රට සංවර්ධන මාවතට රැගෙන යමින් පවතිනවා. අද ඉන්ධන, ගෑස් හෝ වෙනත් කිසිදු පෝලිමක් දකින්නට ලැබෙන්නේ නෑ. ජනතාවට යම් ආර්ථික ගැටලු තිබුණත් රට ඉදිරියට යනවා. තව කෙටි කලකින් මේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න වත්මන් ජනාධිපතිතුමාට හැකිවේ යැයි බලාපොරොත්තුවක් අපිට තිබෙනවා.
වෙන කිසිදු පාලකයෙක් නොකළ ආකාරයෙන් වතුකරයේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවන්න එතුමා කටයුතු කොට තිබෙනවා. වතුකරයේ ජනතාවගේ නිවාස, ඉඩම්, ඉඩම් ඔප්පු, සෞඛ්‍ය වගේම අධ්‍යාපන ගැටළු විසඳන්න එතුමා රුපියල් බිලියන 14 ක මුදලක් වෙන් කොට තිබෙනවා. මේ තත්ත්වය මත අපි වෙනත් අපේක්ෂකයකුට සහය දෙන්න අවශ්‍ය නෑ. අපේ සහය අපි වත්මන් ජනපති නිල් වික්‍රමසිංහ මහතාටම ලබා දෙනවා. එතුමා වැටුප් වැඩි කිරීම ඇතුළුව දමිළ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු දේවල් කරයි කියන විශ්වාසය අපිට තියෙනවා යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කීය.
(කමල් සුරවීර – මහනුවර)