හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙක් මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර ලබාදී තිබේ..
මහනුවර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ඇතුළු කණ්ඩායමක් වරෙන්තු කරුවෙකු අත් අඩංගුවට ගැනීම සඳහා ඉකුත් 12 දින පස්වරුවේ කඩුගන්නාව, හේනාවල ප්රදේශයේ හදිසි වැටලීමක් සිදුකොට ඇති අවස්ථාවේ එම වරෙන්තුකරු සමග සිටි බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු පැකට් එක බැගින් හමුවූ බව මූලස්ථාන පොලිසිය පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මෙම නියාමකවරු දෙදෙනා දිගු කලෙක සිට මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් බවය.
මෙම බන්ධනාගාර නියාමකයන් දෙදෙනා මහනුවර දුම්බර බෝගම්බර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන්නන් වන අතර මොවුන් මාර්ගයෙන් බන්ධනාගාරගත රැඳවියන් හට මත්කුඩු ලබා දී ඇති බවට පොලිසිය සැක කරයි.
අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර බන්ධනාගාර නියාමකයන් දෙදෙනා දින 07 ක් පොලිසියේ රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
(කමල් සුරවීර – මහනුවර)