දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති වූවද තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය බාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වූ අධිනීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
පසුගියදා සිදුවූ රිය අනතුරෙන් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ නිවස වෙත පැමිණි චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මාධ්‍යවේදීන් හමුවේ ඉහත අදහස් පළ කළාය.
30 දා රාත්‍රියේ තම දරුවන්ද සමග සැරයන් අනුරාධ ජයකොඩිගේ හෑදෙනිය, මරවනාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණි චමරි ප්රියංකා මහත්මිය මියගිය සැරයන්වරයාගේ බිරිඳට සහ පවුලේ ඥාතීන්ට තම ශෝකය පළ කිරීමට පියවර ගත්තාය..
මෙහිදී මාධ්‍යවේදීන් සමඟ පිළිසඳරක නිරතවූ අධි නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මෙසේද කීය,
“මගේ මහත්මයා පුත්තලම් දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. එතුමාගෙන් පිළිසරණක් පතා ආ අයෙක් කවදාක්වත් හිස් අතින් ඇරියේ නෑ. එයාට වූ විපත මටත් දරුවන්ටත් අදහගන්න බෑ. හරියට හීනයක් දැක්කා වගේ. මගේ ස්වාමියාගේ මරණයෙ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පල කරලා තියෙනවා මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පල කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා. මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඩක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා , ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව , රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා. මට දැන් විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. මගේ දරුවන් සිව් දෙනාගේ අනාගතය පිළිබඳව. මට හොඳ රැකියාවක් තියෙනවා, හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම තනිවෙලා නෑ කියන හැඟීමෙන් ඉදිරි කටයුතුවලට මුහුණ දෙනවා. මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නෑ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනයේ අර්ථ පරිසමාප්තයෙන්ම දේශපාලඥයෙක්. දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු කෙනෙක්. මගේ මහත්මයා වටේ විශාල පිරිසක් හිටියා. ඒ තමයි එයාගේ ශක්තිය. පුත්තලම් දිස්ත්‍රික්කයේ අති විශාල පිරිසක් සඳහා මගේ මහත්තයා ඉඩම් දුන්නා, ගෙවල් හදලා දුන්නා. ඉන්න තැනක් නැති අයට ගෙවල් දහ පහළොස්දාහක් හදල දුන්නු මගේ මහත්තයගෙ දේහය තියන්න තැනක් නැතිවුණා. අන්තිමෙදි තාවකාලිකව ඉදි කරපු තැනක තමයි අවසන් කටයුතු පවා කරන්න වුනේ.
මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500 කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවන්ගේ දුක මම දන්නවා. අද මේ සිද්ධියෙන් මම වගේම පොලිස් සැරයන් අනුරාධගේ බිරිඳ ලක්සිකා ප්‍රසාදිනි මහත්මියත් දැඩි වේදනාවකට ,කම්පනයකට පත්වෙලා ඉන්නවා. මම එතුමියගෙ වගේම සැරයන් ජයකොඩිගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම දෙයකට සහයෝගය දෙනවා. එයාලට තනිවෙන්න දෙන්නේ නෑ”
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දරුවන් සිව් දෙනා මෙන්ම මව හා සොහොයුරාද එක්ව සිටියහ.
(කමල් සුරවීර- මහනුවර)