රුපියල් ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කරීමට රැගෙන ගිය බව කියන මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මහනුවර නගර සභාවේ නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් අදාළ සේවිකාවගේ වැඩ තමනම් කිරීම සඳහා වන නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා මගින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමුකර තිබේ. එම නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් වැඩ තහනම් කිරීමේ ලිපිය මහනුවර නාගරික කොමසාරිස් මගින් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය වෙත එවා ඇත.

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ තවත් ස්ථාන කිහිපයක ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින්ට පෙරවරු කාලයේ  10 % ක පොලියකට මුදල් ලබා දී පස්වරුවේ පොලිය ද සමඟ අදාළ මුදල අයකර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර නගර සභාවේ ගිණුම් අංශයට එකතුවන මුදල් නගර සභා සේවකයින් ඒ ආකාරයෙන් පොළියට ලබා දීම සඳහා යොදා ගත්තේ ද යන බරපතළ සැකය විමර්ශන නිලධාරීන්ට මතුව ඇත.

පසුගිය දිනවල වාර්තා වූ වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත කරනු ලබන සියලු ගෙවීම් කටයුතු අවශ්‍යය නම් තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කළ බව මහනුවර නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා කීය.

සිදුව තිබෙන වංචා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා අතරතුර නැවත ඒ ආකාර වංචා හා දූෂණ සිදු නොවීම සඳහා වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබෙන බවත් එහි එක් පියවරක් ලෙස වරිපනම්, ජල බිල්පත් ඇතුළු සියලු ගෙවීම් තැපැල් කාර්යාල මගින් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බවත් කී ඒ මහතා ගිණුම් අංශය කාර්යාලය වෙත දෛනිකව එකතු වන මුදල් ප්‍රමාණය අවම කිරීම මෙහි අරමුණ බව ද අවධාරණය කළේය.

(කේ.එල්. සුරවීර මහනුවර )                                                                                 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here