වික්ටෝරියා ජලාශය මතින් සැහැල්ලු වාහන ධාවනය කරදීමට අවශ්‍ය අවසරය ලබා දෙන යෝජනාවක් ඉකුත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සම්මත විය.

මොරගහමුල හා අධිකාරිගම අතර ප්‍රවාහන කටයුතු පහසුකිරීමේ අරමුණින් කමිටුව මෙම තීරණයට එළැඹුණු අතර අවසන් තීන්දුව ලබා ගැනීම සඳහා එම යෝජනාව මහවැලිය භාර අමාත්‍යංශයට යොමු කිරීමට ද කමිටුව තව දුරටත් තීරණය කරන ලදි.

වික්ටෝරියා වේල්ල මතින් වාහන ධාවනය කිරීම මේ වන විට ආරක්ෂක හේතු මත අත්හිටුවා තිබෙන බැවින් ප්‍රදේශවාසීන්ට කිලෝමීටර් 40ක පමණ අමතර දුරක් ගමන් කිරීමට සිදුව තිබේ. වික්ටෝරියා වේල්ල මතින් වාහන ගමනාගමනයට දැනට අවසර ලබා දී ඇත්තේ මහවැලි අධිකාරියේ සහ අවසර ලත් සැහැල්ලු වාහනවලට පමණි.

වික්ටෝරියා ජලාශය හා ආරක්ෂිත කලාපය අතර ආරක්ෂක කටයුතු සිදුවීම ඊට හේතුවයි. කමිටුව හමුවේ කරුණු දැක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා,බහුකාර්යය යෝජනාවක් වශයෙන් ඉදිවූ වික්ටෝරියා ජලාශය මහජන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ඉදිවූවක් මිස ජනතාවට තහනම් වූ ස්ථානයක් නොවිය යුතු බව පැවසුවේය.

වික්ටෝරියා ජලාශය මගින් ගොවිතැනට ජලය ලබා ගැනීම, ජල විදුලි උත්පාදනය ඇතුලු ඉලක්ක රැසක් අපේක්ෂා කරන බවත් එහිදී ජනතාවට ගමන් කිරීමට නොහැකි පරිදි වේල්ල තහනම් කලාපයක් බවට පත් කිරීමෙන් මුල් පදිංචිකරුවන් දැඩි අසාධාරණයක් සිදුවූ ඇති බවත් ඒ මහතා කීවේය.

කමිටුවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා, ආරක්ෂා කිරීම යනු ස්ථානයක් කිසිදු පුද්ගලයෙකුට ඇතුල්වීමට නොහැකි පරිදි වසා දැමීම නොවන බවත් සාමාන්‍ය දෛනික ජීවිතයට විවෘත කොට ආරක්ෂාව තහවුරු කිරීම විය යුතු යැයි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් අනූන පිදුරුතලාගල කන්ද පවා මේ වන විට කිසිදු පුද්ගලයෙකුට ඇතුල් විය නොහැකි පරිදි වසා දමා ඇතැයි කී ඒ මහතා එම කන්දේ නීරීක්ෂණයට ගිය තමන්ට ද ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු වූ බව ද පැවසුවේය. මෙලෙස සංචාරකමය ආකර්ෂණයක් ඇති ස්ථාන වසා දැමීම සංචාරක ව්‍යාපාරය අඩපණ වීමට හේතුවන බව ද පෙන්වා දුන්නේය.

(කමල් සුරවීර – මහනුවර)                                   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here