කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අද (20) පෙරවරුවේ අමතමිනි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 46 අතුරින් එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ඇතුළු රටවල් 34ක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 19 දා කොළඹදී ආරම්භ වූ සමුළුව හෙටින් (21) අවසන් වේ.

2022 වර්ෂයේදී බංග්ලාදේශය මෙම සමුළුවේ සත්කාරකත්වය දැරූ අතර මෙතැන් සිට 2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ඇත.
ශ්‍රී ලංකාව 1955 වර්ෂයේ පැවති 2 වැනි සමුළුව සඳහා සත්කාරකත්වය දක්වා ඇති අතර මෙවර ශ්‍රී ලංකාව මෙම සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ වසර 69කට පසුව වීම විශේෂත්වයකි.

ආසියා – පැසිෆික් කලාපවල මුළු ජනගහනයෙන් 70%ක් පමණ කෘෂිකර්මාන්තය මත යැපෙනු ලබයි. “කෘෂි ආහාර පද්ධතිය පරිවර්තනය” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවේ දී කලාපයේ රටවල පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදනය, ආහාර පරිභෝජන සුරක්ෂිතතාව, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පාරිසරික සුරක්ෂිතතාව පවත්වා ගැනීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම, දේශගුණික විපර්යාසවල අවදානම පාලනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

සමුළුවේ සමාරම්භක සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක්ව සිටින විදෙස් අමාත්‍යවරු ඇතුළු නියෝජිතයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, ඉන් අනතුරු සමුළුවට එක්ව සිටි නියෝජිත රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here