හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොර හදිසියේ විදෙස්ගත වී තිබෙනවා.

ඒ හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා ඇති වී ඇති බව හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලය පවසනවා.

මෙම වෛද්‍යවරිය පසුගිය 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට තිබෙනවා. පසුව ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇති බව සඳහන්. ඇය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දන්වා ඇති බවද රෝහලේ කාර්ය මණ්ඩලය පවසනවා.

මෙම වෛද්‍යවරිය විදෙස්ගත වී ඇත්තේ කිසිදු විදෙස් නිවාඩු අනුමත කරවාගැනීමකින් තොරවයි. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණ බවත් රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටිනවා.

හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ද ඉකුත් වසරේ අගෝස්තු 12 වැනිදා මේ ලෙසටම හදිසියේ විදෙස්ගත වී තිබුණා. ඒ ඔහු දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව දන්වමින්. විදෙස්ගතවීමෙන් පසුව ඔහුද වට්ස්ඇප් පණිවුඩයක් මගින් මේ බව රෝහල් බලධාරින්ට දන්වා තිබෙනවා. ඔහු විදෙස්ගත වූ පසු රෝහලේ ශල්‍යකර්ම කිරීමේදී දැඩි අසීරුතාවකට රෝහල් බලධාරින් මුහුණ දුන් අතර ඉන් පසුව රෝහලට වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත්කර එවා තිබුණු අතර පෙරේදා හදිසියේ විදෙස්ගත වී ඇත්තේ එලෙස පත්ව ආ විශේෂඥ වෛද්‍යවරියක් බව රෝහලේ කාර්‍ය මණ්ඩලය කියා සිටිනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ සුරංග උබේනායක පවසන්නේ පවතින තත්ත්වයන් යටතේ රෝහලේ ශල්‍යකර්ම සීමා කිරීමට සිදුවන බවයි. දැනට රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා යටතේ සතියේ දිනවල පමණක් ශල්‍යකර්ම කිරීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here