මේ දිනවල ශ්‍රී ලංකාවට මුහුණපා ඇති  අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

හිරුඑළිය සම මතට සෘජුවම පතිතවීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්ථානවල රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව සමෙහි දැනට පවතින ආසාත්මික තත්ත්වයන්ගේ වැඩිවීමක්ද උණුසුම් කාලගුණයත් සමග ඇතිවිය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සඳහන් කළේ විශේෂයෙන් කුඩා දරුවන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරුවීමේ අවධානමක් පවතින අතර ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය,

“විශේෂයෙන්ම දිලීර ආසාදනයකදී ෆාමසියකට ගිහිල්ලා බෙහෙතක් දෙන්න කියලා ඉල්ලන්න එපා. දිලීර ආසාදනවලට ඒ විදියට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලීර අපේ ප්‍රතිකාරවලට ඔරෙත්තු දීමකට ලක්වෙලා‌ ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්.”

“ළමයි අව්වට යන්න පුරුදු විය යුතුයි කියන මතය මේ වගේ කාලයකදී පාවිච්චි කරන එක එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නෙමෙයි. මොකද මේ සැර දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් දරාගැනීම අපහසුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here