මරණයක් සිදුවූ අවස්ථාවක සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරුන් ගේ දැනුම පුළුල් කිරීම අරමුණු කර ගනිමින් ධාරිතා සංවර්ධන වැඩසටනක් හෙට (28) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී පැවැත් වෙයි.
සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන් ගේ සංගමයේ අනුග්‍රහය යටතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම පුහුණු වැඩමුළුව මෙහෙයවනු ලබයි.
වෙඩි තබා ගැනීම හා වෙඩි වැදීම, වස විෂ ශරීරගත වීම සහ ශරීරගත කිරීම, පිපිරවීම් හා පුපුරවා ගැනීම් හා සාමාන්‍ය මරණ සම්බන්ධ ස්ථාන පරීක්ෂා කිරීම පිළිබඳ පුළුල් අවබෝධයක් මරණ පරීක්ෂකවරුන්ට ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන බව සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා පැවසුවේය. සැක සහිත නොවන ස්වභාවික මරණයක් සිදුවූ අවස්ථාවක ග්‍රාම නිලධාරිවරයාට මළ සිරුර නිදහස් කිරීමට හැකියාව තිබෙන නමුත් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නේ නම් පොලීසිය එය යොමු කරනු ලබන්නේ හදිසි මරණ පරීක්ෂකවරයාට හෝ මහේස්ත්රාත්වරයාට යැයිද ඒ මහතා කීය.
මරණය කිසියම් අපරාධයක ප්‍රතිපලයක් නිසා වූවක් බවට හැඟී ගියහොත් පොලීසිය පරීක්ෂණ මහේස්ත්රාත්වරයාට යොමු කරන බවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන අවස්ථාවක පොලීසිය එය හදිසි මරණ පරීක්ෂක වෙත යොමු කරන බවත් කී සභාපතිවරයා මරණ පරීක්ෂකවරුන් ට මරණයක් හා සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් පැවැතීම රාජකාරි කටයුතු හොඳින් සිදු කිරීමට අත්‍යවශ්‍යය යැයි ද අවධාරණය කළේය.
(කමල් සුරවීර – මහනුවර)