මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ගේ ඝාතනය  සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැති අය හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට  පෙරේදා (31) රාත්‍රියේ ඇතුළත් කර  සුළු මොහොතකට පසු මියගොස් ඇති බව යි රෝහල් පොලිසිය කියයි

මෙලෙස මියගිය පූබාලසිංහම් 39 වැනි වියේ පසුවන අතර මරණය දණ්ඩනය සම්බන්ධයෙන්  ඔහු අභියාචනයක් ඉදිරිපත් කර  තිබූ බව පොලීසිය පවසයි.

මරණීය දණ්ඩනය  නියම වීමෙන් පසු පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි මොහු විටින් විට රෝගාතුර වීම නිසා බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇත. 

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව පොලිසිය පවසයි.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට මරණ දඬුවම් ලබාදෙනු ලැබීය.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත් විය.විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේ දී ඝාතනයට ලක් වූ අතර  ඒ සම්බන්ධයෙන් අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණ දණ්ඩනය නියම වූ අතර එකල මෙම මිනීමැරුම සම්බන්ධයෙන් මාත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උතුරු ප්‍රදේශයේ ඇති විය.

(කමල් සුරවීර – මහනුවර)  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here