වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පාර්ලි‍මේන්තු ගොඩනැගිල්ල අබලන් වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පුදුමයට කාරණාවක් නොවන අතර මේ පිළිබඳව රජයේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබූ බවයි.

ඒ අනුව පසුගිය 25 වන දින කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමේදී වහාම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වහාම මේ සඳහා ලබාදීමට එහිදී අනුමැතිය ලබාදුන් බවත්, තවදුරටත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට, කථානායකවරයා, සභානායකවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද නියෝජනය කරන මෙම උපදේශක කාරක සභාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි බවත් අමාත්‍යවරයා කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here