මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

රජය සඳහන් කළේ, මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට අදාළව ඉදිරිපත් කරන ලද ව්‍යපෘති යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබා දීමට චීන රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇති බව ය.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යනයකින් ද මේ වන විට සිදු කර ඇති බව රජය පැවසීය.

යෝජිත ව්‍යාපෘතිය මගින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර (delivering class room) ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමර (receiving class room) සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක් (data center) චිත්‍රාගාරයක් (studio room) සම්මන්ත්‍රණ කාමරයක් (conference room) ලබා දීමට අපේක්ෂිත ය.

රජය සඳහන් කළේ, මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේදය විධිමත්ව සිදු කිරීම, සම්පත් බෙදා ගැනීම, විශේෂ කුසලතා ඇති ගුරුවරුන් හිඟ අවස්ථාවන්හිදී ඇති වන ගැටලුකාරී තත්ත්ව මග හරවා ගැනීම හා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීම යන කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා එම උපාංග මගින් සහය ලබා ගැනීමට හැකි වන බව ය.

ඒ අනුව, අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here