මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගල ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබුවා.
එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුහු10කට ආසන්න ගණනක් ඇතුළු 50ක පමණ පිරිසක් තුවාල ලැබුවා.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙහි විමර්ශන යටගසා තිබියදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රදේශවාසීන් පොලිස්පති එන් .කේ ඉලංගකෝන් මහතාට පැමිණිලි කිරිමෙන් පසු විමර්ශන රහස් පොලිසියට පැවරිණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් පසු බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන (දැන් මේජර් ජනරාල්) ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවා.
පසුගිය අප්‍රේල් මස 30වන දින මෙහි නඩු තීන්දුව දිමට තීරණය වි තිබුණද පැමිණිලි පාර්ශවයේ සහ විත්තිකාර පාර්ශවයේ ලිඛිත දේශන ප්‍රමාදය හේතුවෙන් මෙම නඩුවේ තීන්දුව ලබා දීම අද දිනට කල් තැබුණා.
එදින නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවකුත් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණේද නැහැ.