දිවා ආහාර ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ ප්‍රාථ­මික පාස­ල්වල සහ සිසුන් 100ට අඩු පාස­ල්වල සිසුන් පාස­ලට පැමි­ණීමේ වර්ධ­න­යක් සිදුව ඇති බව ක්‍රම හා විධි පිළි­බඳ පාර්ලි­මේන්තු කාරක සභා­වේදී අනා­ව­ර­ණය වී තිබේ.

පසු­ගිය සම­යෙ­හිදී පාසල් සිසුන් ලක්ෂ හයක පිරි­සක් උදෑ­සන ආහාර වේල නොගෙන පාසල් පැමි­ණෙන බව වාර්තා වූ බවත් මෙම ආහාර ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මෙන් අන­තු­රුව දරු­වන්ගේ පාසල් පැමි­ණීම වැඩි වී ඇති බවට ද කාරක සභා­වේදී අනා­ව­ර­ණය වී ඇත.

ඒ අනුව දිවා ආහාර ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ සමඟ ප්‍රාථ­මික පාස­ල්වල සහ සිසුන් 100ට අඩු පාස­ල්වල සිසුන් පාස­ලට පැමි­ණීමේ වර්ධ­න­යක් සිදුව ඇත්දැයි සොයා බලා වාර්තා­වක් හා දිවා ආහාර ලබා දෙන සිසුන් සංඛ්‍යා­වන් පිළි­බඳ වාර්තා­වක් කාරක සභාව වෙත ලබා­දෙන ලෙසද කාරක සභාවේ සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහතා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට උප­දෙස් දී ඇත. මෙම වැඩ­ස­ට­හනේ සමස්ත ප්‍රග­තිය පිළි­බඳ වාර්තා­වක්ද ලබා දෙන ලෙස කාරක සභා සභා­ප­ති­ව­රයා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට උප­දෙස් දී ඇත.

ක්‍රම සහ විධි පිළි­බඳ පාර්ලි­මේන්තු කාරක සභාව එහි සභා­පති පාඨලී චම්පික රණ­වක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී රැස්වූ අතර එහිදී මෙම උප­දෙස් දී ඇත.

පාසල් ළම­යින්ට ලබා­දෙන දිවා ආහාර වේල සම්බන්ධ අව­ධා­නය යොමු කළ ක්‍රම සහ විධි පිළි­බඳ කාරක සභා­වේදී අනා­ව­ර­ණය වූයේ රජයේ පාස­ල්වල ප්‍රාථ­මික ශ්‍රේණි­වල දරු­වන් සඳහා ආහාර ලබා දීම 2024 වස­රේදී ලක්ෂ 11 සිට ලක්ෂ 16 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව එක් දරු­වකු සඳහා මෙහිදී වෙන් කෙරෙන මුදල රුපි­යල් 80 සිට රුපි­යල් 110ක් දක්වා වැඩි කර තිබේ.

පාසල් ළම­යින්ට ලබා­දෙන ආහාර වේල සඳහා වස­ර­කට රුපි­යල් බිලි­යන 16.6ක් වැය වන නමුත් තවත් රුපි­යල් බිලි­යන 4ක පමණ අඩු­වක් පව­තින බව ද ප්‍රකාශ විය. පාසල් සිසුන්ට ආහාර වේලක් ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ සඳහා ආධාර ලබා­දී­මට විදෙ­ස්ගත ශ්‍රී  ලාංකි­ක­යන් විශාල කැමැ­ත්ත­කින් පසු­වන නමුත් ඍජුව රජය වෙත මෙම ආධාර ලබා­දී­මට ඔවුන් නොකැ­මැ­ත්තක් දක්වන බව සභා­ප­ති­ව­රයා මෙහිදී පැව­සීය. ගුරු­දෙ­ගුරු සමිති, පාසල් සංව­ර්ධන සමිති වැනි පාර්ශ්ව­යක් වෙත එම ආධාර ලබා­දීම සඳහා නීති­මය බාධා­වක් තිබේද යන්න සොයා බලන ලෙස ද හෙතෙම උප­දෙස් දුන්නේය. එසේම සමාජ මාධ්‍යය පාදක කර­ගෙන පැමි­ණිලි භාර ගැනීම සඳහා ක්‍රම­වේ­ද­යක් සකස් කරන ලෙස උප­දෙස් දුන් සභා­ප­ති­ව­රයා වට්ස්ඇප් මඟින් ලබා දෙන ආහාර වේලේ ප්‍රමි­තිය පිළි­බඳ නිති­පතා වාර්තා කිරීම වැනි ක්‍රම­වේ­ද­යක් භාවිත කරන ලෙස ද ප්‍රකාශ කළේය.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here