ශ්‍රී ලංකාවේ කීර්තිනාමයත්, ක්‍රිකට් ක්‍රීඩාවත් විනාශ කරමින් ශ්‍රී ලංකා භූමිය තරග පාවාදීමේ සහ නීති විරෝධී ඔට්ටුකරුවන්ගේ පාරාදීසයක් කර ගැනීමට මෙරටට පැමිණි විදේශීය ජාවාරම්කරුවකු ඊයේ පෙරේදා අත්අඩංගුවට පත් විය. එළැඹෙන එල්පීඑල් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවකු බව කියන මේ ජාවාරම්කරුවා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙකි. බංග්ලාදේශයේ ඉහළම මට්ටමේ දේශපාලනඥයන් ඇසුරු කරන, බ්‍රිතාන්‍යයේ ප්‍රභූවරුන් සමඟ සමීපව කටයුතු කරන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු බවට පෙනී සිටි බව කියන මේ ජාවාරම්කරුවා කොටු කර ගනු ලැබුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

එය මෑත කාලයේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා තිප්පොළක් කර ගැනීමට උත්සාහ කළ විදේශීය ජාවාරම්කරුවකු කොටු කරගත් පළමු අවස්ථාව නොවූව ද, එය වැඩි කතාබහට ලක්වන්නේ එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියෙන් පැය 24ක් ඇතුළත ඔහු අත්අඩංගුවට පත්වීම හේතුවෙනි. එය ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ කාර්යක්ෂමභාවය ඉස්මතු කළ සිදුවීමකි. එපමණක් නොව අතිශය රහසිගත සහ විශ්වාසනීය තහවුරු කළ හැකි සියලු සාක්ෂි සාධක කඩිනමින් අදාළ නිලධාරීන් අතට පත් කිරීමට යම්කිසි පැමිණිලිකාර පාර්ශ්වයක විසින් සිදු කරනු ලැබූ ජාතික වගකීමකි.

එල්පීඑල් තරග පාවාදීමට ක්‍රීඩකයන්ට යෝජනා කිරීමේ චෝදනාව මත ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙවර තරගාවලියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු බව කියන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ටමීම් රහ්මාන් නමැති පුද්ගලයෙකි. ඔහු පිළිබඳ ඊට පෙර දින අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් තහනම් නියෝගයක් ලබා ගත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට සූදානම්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් සිටියදීය. එම චෝදනාව සම්බන්ධව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනත යටතේ බවත්, විමර්ශන කටයුතු මෙතෙක් නිමාවට පත්වී නැති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු එම කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා සැකකරු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.

අධිකරණයට වාර්තා කළ කරුණුවලට අනුව අදාළ පුද්ගලයා පසුගිය අප්‍රේල් මාසයේ එක්තරා දිනයක මෙහි පැමිණිලිකරුට දුරකතන ඇමතුමක් ලබා දී පැයකට අධික කාලයක් දුරකතන සංවාදයේ නිරතව සිට ඇත. එහිදී අදාළ සැකකරු විසින් 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතේ 5,6 සහ 8 වගන්ති යටතේ වැරදි සිදුකර ඇතැයි වැඩිදුරටත් කරුණු වාර්තා වී තිබිණි. එමෙන්ම ඔහු සිය අවශ්‍යතාව මත කණ්ඩායමට විවිධ පුද්ගලයන් ඇතුළත් කර ගන්නා බවට ද, තරග පාවාදීම සඳහා එවැනි ක්‍රියාවක නිරතවන බවට ද පැහැදිලි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ උදාර කරුණාතිලක මහතා අධීකරණයට කරුණු වාර්තා කර තිබිණි. සැකකරුගේ ජංගම දුරකතන සියල්ල ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම 2023 අංක 10 දරන අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව නඩුවේ ගොනුව තාවකාලිකව සේප්පු ගත කිරීමට නියෝග නිකුත් කරන්නැයි රජයේ නීතිඥවරයා කළ ඉල්ලීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

ලොව පුරා විවිධ රටවල පවත්වනු ලබන ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් තරගාවලි රැසක මුදලට තරග පාවාදීම් සහ නීති විරෝධී ඔට්ටු තැබීම අසීමිතව සිදුවන බවට වාර්තා වූව ද, එය ශ්‍රී ලංකාවට වැදගත් කාරණා නොවේ. වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් ක්ෂේත්‍රයේ එවැනි ජාවාරම්කරුවන්ගෙන් රැක ගැනීමය. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමය. ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත ස්ථාපිත වී ඇත්තේ ඒ වෙනුවෙනි. සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ එම පනතේ 5 වැනි වගන්තිය යටතේ ඇති යම් ක්‍රීඩාවක හෝ ක්‍රීඩා ඉසව්වක ප්‍රතිඵලය, ප්‍රගතියට, පැවැත්මට හෝ වෙනත් යම් අංගයකට බලපෑම් එල්ල කිරීම සඳහා මුදල් හෝ වෙනත් ත්‍යාග හෝ ප්‍රතිලාභ අයැදීම හෝ පිළිගැනීම හෝ පිරිනැමීම යටතේය. එමෙන්ම එහි 6 වැනි වගන්තියට අනුව වංක ලෙස හෝ වංචනික ලෙස ස්වකීය වාසිය පිණිස හෝ වෙනත් තැනැත්තකුගේ වාසිය පිණිස ක්‍රීඩාව පාලනය කිරීමට යම් තැනැත්තකු පෙලඹවීමය. අටවැනි වගන්තියට අනුව අනුබල දීම, යම් වරදක් සිදු කිරීමට ආධාර දීම, ඒ සඳහා ක්‍රීඩාවට සම්බන්ධ තැනැත්තකු වෙත ප්‍රවේශ වීම හෝ පහසුකම් සැලසීමය.

ලොව පුරා පවත්වනු ලබන ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් සම්බන්ධව ක්‍රීඩාලෝලීන් කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්ව අතර ඇත්තේ දැඩි සැකයකි. අසීමිත අප්‍රසාදයකි. මීට මාස දෙකකට පමණ පෙර මේ ලියුම්කරු සමඟ ඉතාලියේ සිට සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඉතාලි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කැලුම් පෙරේරාට ඇත්තේ ද එවැනිම අදහසකි. ඔහු කියා සිටියේ ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් යනු පිරිසුදු මුදල්දැයි ඔහුට විශ්වාසයක් නැති බවය. ලොව පුරා ක්‍රීඩාව හරහා කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවත්, ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ද ඊට ගොදුරු වී ඇති බවත් ඔහු කීවේය. ඒ සඳහා ඔහු උදාහරණ ගණනාවක්ම ගෙනහැර පෑවේය. ශ්‍රී ලංකාවේ එල්පීඑල් තරගාවලියේ සිදුවන්නට ගියේ ද එවැනිම ආකාරයේ ක්‍රියාදාමයකි. විදේශ විනිමය මෙරටට ගලා ඒමට එවැනි තරගාවලි අතිශය වැදගත් සාධක වූව ද, නීති විරෝධී ක්‍රියාකාරකම් හරහා වෙනත් අකටයුතුකම් සිදුවන්නේ නම් එය ක්‍රීඩාවට පමණක් නොව ක්‍රීඩකයන්ට ද සිදු වන බලවත් හානියකි. ශ්‍රී ලංකාවේ කීර්තිනාමය විනාශ වීමකි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව එවැනි අකටයුතුකම්වලින් දූෂණය කිරීමට උත්සාහ කිරීමේ අවස්ථා ගණනාවක් මෑත කාලයේදී වාර්තා වී තිබිණි. එවැනි අකටයුතුකම් ශ්‍රී ලංකාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ යැයි කියමින් අසල්වැසි ඉන්දියාවේ පවා සිදුවී තිබිණි. බදුල්ලේ යැයි කියමින් ඉන්දියාවේ මොහාලි නුවර එක්තරා ග්‍රාමීය පළාතක සාමාන්‍ය පිට්ටනියක පැවැත්වෙමින් තිබූ හොර ක්‍රිකට් තරගාවලියක් මීට වසර කිහිපයකට පෙර හෙළි කර ගැනීමට මොහාලි පොලිසිය සමත් වී තිබිණි. එමෙන්ම බදුල්ල නගරය කේන්ද්‍ර කරමින් ඌව පළාත් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ තරගාවලියක් බව කියමින් එවැනිම තරගාවලියක් මොහාලි නුවරම කිලෝමීටර් 16ක් දුරින් පිහිටි සවාරා නමැති ගම්මානයක පවත්වා තිබිණි. පොලිසිය ක්‍රීඩාංගණය වැටලූ අවස්ථාවේදී මොනරාගල හෝනට්ස්, යුනිලයන්ස් මහියංගණය, බදුල්ල සී ඊගලස් සහ වැල්ලවාය වයිපර්ස් නමින් ව්‍යාජ කණ්ඩායම් හතරක් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි බව ද වාර්තා විය. එහි තරග කාලසටහනක් ද බුකීකරුවන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර, ඔට්ටු තැබීම සිදුවූයේ ද අන්තර්ජාලය හරහාය. සැබැවින්ම ඊට කිසිදු දේශීය ක්‍රීඩකයකු සහභාගි වූයේ නැත. ඌව විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නමින් එම තරගාවලිය අදාළ ස්ථානයේ පැවැත්වෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව ද වාර්තා විය.

පසුගිය මාසයේ පල්ලෙකැලේ පැවැති ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය ද එවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් රැසකට මුල් වූ තරගාවලියක් බවට පත් වී තිබිණි. ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට පත් වූ විදේශිකයන් දෙදෙනෙකි. ඔවුන්ට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ අධිකරණයේ නඩුවක් ද ගොනු වී තිබේ. එම අකටයුතුකම හෙළි නොවූයේ නම් එම තරගාවලියේ සිට තවත් මාස එකහමාරක කාලයක් තුළ තවත් එවැනිම තරගාවලි දෙකක් දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තිබූ බව විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එම තරගාවලි ද්විත්වය දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ බවත්, පල්ලේකැලේ තරගාවලියේ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධව සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමත් සමඟ එම තරගාවලි කල්දමා තිබූ බවත් විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එම තරගාවලි අත්හිටුවා ඇත්තේ එල්පීඑල් තරගාවලිය හේතුවෙන් මාධ්‍ය අනුග්‍රාහකයන් දින සංශෝධනය කරන ලෙස කළ ඉල්ලීමකට අනුව බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එහෙත් සැබැවින්ම එම තරගාවලි කල් දමා නොව අවලංගු කර ඇති බවට ද, එසේ සිදු කර ඇත්තේ තරග පාවාදීමේ චෝදනාවට විදේශ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට පත්වීම හේතුවෙන් බවට ද විශේෂ විමර්ශන ඒකකය අනුමාන කර ඇතැයි ද වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි අකටයුතුකම් සඳහා ශ්‍රී ලංකා භූමිය අවභාවිත කිරීමෙන් වළක්වා ගැනීමට ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැඩි උත්සාහක නිරත වූව ද, එම අකටයුතුකම්වල මහ මොළකරු අන් කිසිවකු හෝ නොව ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයකු බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. එම ක්‍රීඩකයා මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටිය ද ක්‍රීඩාවේ පරිපාලනයට එක්වී සිටින පුද්ගලයකු බවත්, ඔහුට මීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් ද පනවා තිබූ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කළේය.

එම අකටයුතුකම් හෙළි කර ගැනීමට සහ වැළැක්වීමට ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ලැබෙන විශ්වාස කටයුතු තොරතුරු මූලාශ්‍ර සහ පැමිණිලිකරුවන් ආරක්ෂා කිරීමට එහි නිලධාරීන් දැඩි වගකීමකින් යුතුව කටයුතු කළද, ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් වැඩි වගකීමක් යම්කිසි පාර්ශ්වයක් විසින් දැරිය යුතුව තිබේ.

තොරතුරු ලබා දෙන මූලාශ්‍රය සඳහා ත්‍යාග පිරිනැමීම සම්බන්ධයෙන් ද ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විධිවිධාන පනත යටතේ කරුණු ඇතුළත් වී ඇති අතර, එම වගකීම භාර වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතය. එම අරමුදල තුළින් තොරතුරු මූලාශ්‍ර වෙත මුදල් ත්‍යාග පිරිනැමීම සිදුවන්නේ නම් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඔවුන් තවදුරටත් දිරිගැන්වෙනු ඇත. අනිත් අතට එල්පීඑල් වැනි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආර්ථිකයක් සඳහා වැදගත් සාධකයක් වන තරගාවලියක් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි වගකීමක් දරන්නේ නම් එය ක්‍රීඩාවේ පැවැත්මට සුබදායක වනු ඇතැයි ද පාර්ශ්ව රැසක් විශ්වාසය පළ කර තිබේ. විශේෂයෙන් එල්පීඑල් තරගාවලියේ හිමිකරුවන් ලෙස ඩුබායි කේන්ද්‍ර කරගත් අයිපීජී සමාගම කටයුතු කරන බවත්, කණ්ඩායම් හිමිකරුවන් තෝරා ගැනීම සහ ඔවුන්ට කණ්ඩායම් අලෙවි කිරීම එම සමාගමේ කාර්යභාරයක් බව සඳහන් වූව ද, ශ්‍රී ලංකාවට අදාළ තරගාවලියක් බැවින් එම කණ්ඩායම් වෙනුවෙන් කළමනාකරුවන් යෙදවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය යටතේ සිදුවිය යුතු බවට කොන්දේසි ඇතුළත් කරන්නේ නම් එය එල්පීඑල් තරගාවලිය විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීමට සහ ක්‍රීඩාවේ ගුණාත්මකභාවය රැකගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කරගැනීමට ඉවහල් වනු ඇතැයි බොහෝ පාර්ශ්ව යෝජනා කරති. කෙටියෙන් කියන්නේ නම් අදාළ කණ්ඩායම්වලට කළමනාකරුවන් පත් කළ යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය යටතේ බවට වගන්තියක් පැනැවිය යුතු බවය. එය ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමය රැක ගැනීමට ද වැදගත් සාධකයක් වනු ඇතැයි ද පාර්ශ්ව රැසක් සඳහන් කරති.

එල්පීඑල් තරග පාවාදීමේ අකටයුතුකම් වැළැක්වීමට විශේෂ විමර්ශන ඒකකය ගන්නා උත්සාහය බංග්ලාදේශ ජාවාරම්කරු කොටු කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවන මෙහෙයුමක් බව ද වාර්තා වේ. එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසිගත වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් විසින් එක් එක් මිල ගණන් යටතේ අත්කරගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳවත් ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගියදා පැවැති එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් හිමිකරුවන් ඇතැම් ක්‍රීඩකයන් ඉහළ මිලකට මිලදී ගැනීම යම්කිසි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කොටසක් දැයි විශේෂ විමර්ශන ඒකකයට සැක පහළ වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එක්තරා කණ්ඩායම් හිමිකරුවකු විසින් මෙරට විශ්‍රාම ගිය ක්‍රීඩකයකු අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලකට මිලදී ගැනීම හේතුවෙන් එම සැකය මතු වී ඇති අතර, මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී මෙරටට ගලා එන විදේශ විනිමය නැවත වංචා මාර්ගික ක්‍රමවේදයක් යටතේ විදෙස් රටවල ගිණුම්වලට බැර වන්නේදැයි ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැඩි සෝදිසියෙන් පසුවන බව ද ආරංචි මාර්ග පැවැසීය. එමෙන්ම ඇතැම් ක්‍රීඩකයන් වෙන්දේසියේදී මිල දී ගැනීම පසුපස කොමිස් මුදල් අත්කර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි විශේෂ විමර්ශන ඒකකය නිරීක්ෂණය කරමින් සිටින බව ද වාර්තා වේ. අවශ්‍යතාව මත ඉදිරියේදී තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට ද විශේෂ විමර්ශන ඒකකය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවැනි අකටයුතුකම් වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ගන්නා උත්සාහය පැසසුමට ලක්විය යුතු වුවද, එල්පීඑල් තරගාවලිය දූෂිත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ ජාවාරම්කරු කොටු කර ගැනීමේ මෙහෙයුමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ වගකිවයුතු නිලධාරින්ගෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

(ෆවුස් මොහොමඩ් සහ නිමන්ති රණසිංහ)

(උපුටා ගැනීම – සිළුමිණ වෙබ් අඩවියෙන් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here