අනතුරකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වතුවල මංසන්ධිය අසල වැටී සිටියේ යැයි පවසමින් මහනුවර ජාතික රෝහලට තුවාලකරුවෙකු රැගෙන විත් ඇතුළත් කිරීමට පියවර ගත් පුද්ගලයෙකු සිද්ධියෙන් දින තුනකට පසු අනතුර සිදුකළ තැනැත්තා බවට හඳුනාගෙන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
පසුගිය 15 දින අදාළ පුද්ගලයා ඔහුගේම මෝටර් රථයෙන් තුවාලකරු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරු පසුදින මියගොස් ඇති අතර ඔහු දීගල ප්‍රදේශයේ පදිංචි බී. කරුණාරත්න නමැති හැට හය හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ.
මෙම මරණය සම්බන්ධව රෝහල මගින් කටුගස්තොට පොලිසිය දැනුවත් කර ඇත. තුවාලකරු රෝහලට ඇතුළත් කළ පුද්ගලයාගේ ජංගම දුරකථන අංකයද පොලිසියට ලබාදීමට මහනුවර ජාතික රෝහලේ රෝහල් පොලිසිය පියවර ගෙන තිබේ.
එම අංකය අමතා අදාළ පුද්ගලයා පොලීසියට ගෙන්වාගෙන තුවාලකරු වැටී සිටි ස්ථානය තහවුරු කර ගැනීමෙන් පසු ඒ ආසන්නයේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පොලීසිය විසින් පරීක්ෂා කරනු ලැබ ඇත.
තුවාලකරු රෝහලට භාරදීමට කටයුතු කළ පුද්ගලයා පදවාගෙන එන මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුවන බව සි.සි.ටි.වී දර්ශන මගින් තහවුරු වී තිබේ.
අනතුර සිදුකර නොනවත්වා ඉදිරියට ධාවනය වන මෝටර් රථය විනාඩි පහකට පමණ පසු යළිත් අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන අයුරුත් රියැදුරු වාහනයෙන් බැස තුවාලකරු මෝටර් රථයට දමාගෙන නැවත වාහනය ධාවනය කරන අයුරුත් එහි පැහැදිලිව සටහන්ව තිබී ඇත.
අදාළ දර්ශන පෙන්වීමෙන් පසු තමන් අතින් අදාල අනතුරු සිදු වූ බව තුවාලකරු රෝහලට බාර දුන් පුද්ගලයා පිළිගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ආර් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණවීර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
(කමල් සුරවීර – මහනුවර )