ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යාවශ්‍ය බවත්, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවුවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවත් පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් වන බවයි.
ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
එසේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවද සඳහන් කළේය.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124 දෙනෙකු වෙනුවෙන් රන්, රිදී සහ ලෝකට පදක්කම් හා සම්මාන ප්‍රදානය කිරීම මෙවර සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මාන ප්‍රදානය කිරිමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මානලාභීන් සමඟ සමුහ ඡායාරුපයකට ද එක් විය.