රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසර දෙකක කාලය තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි බව හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.                    

මහනුවර 30 දා පැවැති වැඩ සටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ විවිධ පාර්ශ්ව විවේචනය කලද ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහන තාක්ෂණිකව ගත් කල ඉහළ තත්වයක පවතින බවය.                                                         

තවදුරටත් අදහස් පළ කළ  ඒ මහතා මෙසේද කීය.  මේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් බංකොලොත් රටක් යන නාමයෙන් මිදුණොත් තමයි අපේ රටට වෙනත් රටවල ආයෝජන එන්නේ. මුදල් එන්නේ. රාජපක්ෂලා එදා කලා වගේ හිතු හිතු විදිහට ණය අරගෙන අත්තනෝමතිකව  වැඩ කරන්න ආයෙ හම්බ වෙන්නේ නෑ. එයාලා කරපු දේවල් වල පල විපාක විඳින්න වෙලා තියෙන්නේ අනාගත පරම්පරාවට.                                                     

ලෝකයේ වෙනත් රටවල් හා සසඳා බලනකොට මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය ඉතාමත් අධිකයි. රටට උහුලන්න බෑ. අද මේ අය බහුතරයක් වැටුප් වැඩි කරගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. අපිට පේන විදියට රට අක්‍රීය වීගෙන එනවා. මේ අවස්ථාවේ ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ පවත්වා ස්ථාවර රජයක් හදන එක. හැබැයි රටේ ජනතාවට වගකීමක් තිබෙනවා රට ගොඩනගන්න පුළුවන් කෙනෙක් පත් කරගන්න. එහෙම නැතුව බොරු කයිවාරු ගහන අයට රැවටිලා ජන්දය දීලා නුසුදුසු කෙනෙක් පත් කළොත් එයාට වෙන්නෙත් අර ගෝඨාභය රාජපක්ෂ කලා වගේ ආණ්ඩුව දාලා පැනලා යන්න. එක එක කයිවාරු ගහලා ඡන්ද දිනන්න පුළුවන්. නමුත් ඊට පස්සේ රට පවත්වාගෙන යන එක තමයි කරන්න බැරි. පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබුණු රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු රට ගොඩනැගීමේ අභියෝගය බාර ගත්තා. යම්තාක් දුරට රට ස්ථාවර කරලා තියෙනවා. එයාට නැවතත් ජනපති වෙන්න අවශ්‍ය නම් එයාගේ වැඩපිළිවෙල ගැන රටේ ජනතාවට විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඒ ගැන ඒත්තු ගන්වන්න ඕනේ. මේ වෙලාවේ රටේ දේශපාලඥයෝ යථාවාදි විය යුතුයි. රට ගැන හිතලා වැඩ කල යුතුයි.                                                                           

නමුත් හිටපු මුදල් අමාත්‍යවරයෙක් වශයෙන් මම එකක් කියන්නම ඕනේ. අද මේ රට වංචා දූෂණවලින් හොරකම් මැරකම් වලින් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉහළ සිට පහළටම විවිධාකාරයෙන් තමන්ට හැකි පමණින් වංචා දූෂණ කරනවා. මේ තත්ත්වය සීයට සීයක්ම නැති කර ගත්තේ නැත්නම් රටට ගොඩ යන්න බෑ. මේ වංචා දූෂණ නැති කරන්න නම් ස්ථාවර රජයක් ඕනේ. අද මේ රටේ ජනතාව බදු බරින් මිරිකිලා දැඩි ආර්ථික සටනක නිරත වෙලා ඉන්නවා. රටේ ජනතාව මේ තත්ත්වයෙන් ගොඩ ගන්න නම් ස්ථාවර රජයක් එන්නම ඕනේ. එහෙම නැතුව මොනවා කලත් වැඩක් නෑ. ඒ වගකීම තියෙන්නේ රටේ ජනතාවටයි.

(කමල් සුරවීර – මහනුවර)

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here