මහාවංසය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අඩංගු පුස්කොළ එකතුවක්  බවත් එය මෙතෙක් කල් ආරක්ෂා  කර ගැනීම සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලට කෘතඥතාව පළ කරන බවත් යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය පැවසුවාය.

යුනෙස්කෝව මගින් ලෝක උරුමයන් ලෙස නම් කළ ස්ථාන 08 ක් ශ්‍රී ලංකාවේ පවතින බවත් පසුගිය වසර 75 ක කාලයේ දී ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් කටයුතු කළ බවත් ඇය පැවසුවාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පුස්තකාලයේ ඇති මහාවංසය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඒ සඳහා වන ලෝක උරුම සහතිකය පිරිනැමීම නිමිතෙන් (17) දින විශ්වවිද්‍යාලයේ පැවැති උත්සයකට සහභාගි වෙමින් අෂධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළාය.

මානව ශිෂ්ඨාචාරයේ ඓතිහාසික වටිනාකම් වලින් යුත් මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට පසුගිය කාලය තුළ යුනෙස්කෝව විශේෂ පියවර රැසක් ගෙන තිබෙන බව ද Audrey Azoulay මහත්මිය කීවාය. 

මහාවංසයේ පිටපත් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනීමෙන් පසු ඒ අතරින් සැබෑ ඓතිහාසික ග්‍රන්ථය හඳුනා ගැනීමට සහය වූ සියලු දෙනාට යුනෙස්කෝවේ ගෞරවය පිරිනමන බව ද ඇය පැවසුවාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහතා අදහස් දක්වමින් යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කළ මහාවංසය පත්ඉරු  238 කින් සමන්විත බවත් එහි කිසිදු වෙනසක් නොමැතිව අඛන්ඩව අපේ ඉතිහාසය අන්තර්ගත වන බවත් කීවේය.

ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ පටන් 1815 දක්වා අඛන්ඩව ලියවී තිබෙන ලෝකයේ ඇති පොත මෙය බවත් මෙහි ඇත්තේ එක් ජාතියක හා ආගමක ඉතිහාසය පමණක්  බවට වරදවා වටහා නොගත යුතු බවත් ඒ මහතා කීය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච් පීරිස්, උප කුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ, පුස්තකාලාධිපති රසයියා මහේෂ්වරන් යන මහත්වරු ඇතුළු පිරිසක් ආචාර්ය මහාචාර්යවරු පිරිසක් ද යුනෙස්කෝවේ සහ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ නියෝජත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here