ඕමාන මුහුදේ දී පෙරළුණු තෙල් නැවෙන් අතුරුදන් වූ 16 දෙනාගෙන් 9 දෙනෙකු ඉන්දියානු නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. ටෙග් යුධ නෞකාවෙන් බේරාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බේරාගත් 9 දෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකු වන අතර අනෙක් 8 දෙනා ඉන්දියානු ජාතිකයින් බවයි.
අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ P 81 වර්ගයේ ගුවන් යානාවක් ද යොදාගෙන තිබේ.
ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරළීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොමරෝස් ධජය සහිත එම නෞකාව අනතුරුට පත්ව ඇත්තේ ඕමානයේ රාස් මද්‍රකා වරායේ සිට ගිනිකොන දෙසින් පිහිටි ඕමානයේම ඩියුකම් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදී බවයි.
මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ, ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරළීමෙන් අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටා තිබෙන සමුද්‍රීය සෙවීමේ සහ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් ඕමාන සමුද්‍රීය සෙවීමේ සහ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී ඒ පිළිබඳ තොරතුරු ලබාගනිමින් සිටින බවයි.