ආහාර හෝ ජලය නොමැතිව පැය 42ක් පුරා රෝහල් සෝපානයක සිරවී සිටි දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයකු ජීවිතය බේරා ගැනීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රවීන්ද්‍රන් නායර් නමැති 59 හැවිරිදි මේ පුද්ගලයා පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී වෛද්‍යවරයකු හමුවිමට රෝහලට ගොස් ඇති අතර, එහි සෝපානය තුළ සිරවීමෙන් දින දෙකකට පසු සෝපාන ක්‍රියාකරුවකු ඔහු සොයාගන්නා තුරු ජීවිතය බේරා ගැනීමට සමත්වීම විස්මයජනක පුවතක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම පුද්ගලයා රෝහල වෙත ගොස් ඇත්තේ කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට බවත්, යළි නිවෙසට නොපැමිණිමෙන් ඔහු රැකියා ස්ථානය වෙත ගොස් ඇතැයි පවුලේ සාමාජිකයන් මුලින් අනුමාන කර ඇතැයි ද, පසුදිනයේදිත් ඔහු නොපැමිණීම හේතුවෙන් පොලිසියට ද පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.
සෝපානය තුළ සිරවීමෙන් පසු එහි සටහන් කර තිබූ හදිසි ඇමතුම් අංකයකට සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගැනීමට උත්සාහ කළ ද ඊට ප්‍රතිචාර නොලැබුණු බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ. කිසිවකුගේ අවධානය ලබා ගැනීමට ඔහු සෝපනයේ දොරටුවට තදින් පහර දී ඇති අතර, ඊට ද ප්‍රතිචාර ලැබී නැත.
ඔහු මේ වන විට රෝහල්ගතව සිටින අතර, විජලනය සහ කොන්දේ වේදනාව සඳහා ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මේ සිදුවිම සම්බන්ධයෙන් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් රජයේ වෛද්‍ය විද්‍යාලයේ නිලධාරීන් සහ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහුගෙන් සමාව ඉල්ලා ඇති අතර, රෝහලේ කාර්මික ශිල්පීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.