මේ දවස්වල ලොකු හාහූවක් යන්නේ ඡන්ද අයිතිය බේරා ගන්න ය. “
ඡන්ද අයිතිය ඉල්ලා ගන්න” හෙට ජූලි 22 සඳුදා උදේ 10 ට මැතිවරණ කාර්යාලය ඉදිරියට එන්න යැයි, “පුරවැසි සන්ධානය” යැයි නම යොදා ගත් කල්ලියක් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරයක් ගෙන යති. අලුත්කඩේ නීතිඥයින් කිහිප දෙනෙකුද ඇතුලු මේ වැනි තවත් කල්ලි කණ්ඩායම් කිහිපයක් ඡන්ද අයිතිය බේරා ගැනීමට බෙරිහන් දෙන්නේ දැනටම ඡන්ද අයිතිය අහෝසිකර ඇති සෙයිනි.
මේ කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ධූර කාලය දීර්ග කර ගැනීම සඳහා දන්නා දහං ගැට ගසන්නේ යැයිද, ඒ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වන සංශෝධනයක් ගෙන ඒමෙන් ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරණය කල් දැමීමේ උප්පරවැට්ටියකට සූදානම් වන බවත්ය.
මෙතෙක් ඉතිහාසයේ ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වූයේ ජයවර්ධන ජනාධිපති විසින් පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා පැවති පාර්ලිමේන්තුවේ සංයුතියට කිසිදු වෙනසක් නොවන ලෙස එහි කාලය තවත් අවුරුදු 06 කින් දීර්ග කිරීමට පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙනි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 04 යි 03 ක් ලෙස බෙදුනු බහුතරයේ තීන්දුවක් ලබා දෙනු ලැබුවේ,
(අ) පාර්ලිමේන්තු නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව 2/3 ක වැඩි ඡන්දයකින් සහ
(ආ) මැතිවරණය පැවැත්විය යුතුද? නැතිද? යන සරළ ප්‍රශ්න දෙක ජාතික ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කළ යුතු යැයිද කියා ය.
ඒ අනුව සිව්වන සංශෝධනය ලෙස පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීමේ පනතට පක්ෂව ඡන්ද 142 ක්ද විරුද්ධව ඡන්ද 04 ක්ද (ශ්‍රීලනිපයේ ලක්ෂ්මන් ජයකොඩි, අනුර බණ්ඩාරනායක, ආනන්ද දසනායක සහ කො.පයේ සරත් මුත්තෙට්ටුවෙගම මන්ත්‍රීවරුන්) ඇතිව පනත සම්මත විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූ හලිම් ඉෂාක් සහ මෛත්‍රීපාල සේනානායක පනතට පක්ෂව ඡන්දය දුන්හ. ඒ සම්බන්ධව ප්‍රකාශයක් කළ මෛත්‍රීපාල සේනානායක කියුවේ, 1975 දී පාර්ලිමේන්තුවේ කාලය වසර 02 කින් දීර්ග කිරීමට ඡන්දය දුන් හෙයින් මෙම පනතට විරුද්ධවීමේ සදාචාරමය අයිතියක් තමන්ට නැතැයි කියා ය.
ඉන්පසු ජනාධිපති ජයවර්ධන විසින් කොන්දේසි 02 ක් ඇතුළත් කෙරුණු 1981 අංක 07 දරණ ජනමත විචාරණ පනත ගැසට් කරනු ලැබිණ. එම කොන්දේසි 02 වූයේ (1) ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 2/3 ට වැඩි සංඛ්‍යාවක් ඡන්දය ලබාදුනහොත් බහුතරයක් “ඔව්” යැයි කිව යුතුව ඇති බවත්
(2) ඡන්දදායකයින්ගෙන් 2/3 ට අඩු සංඛ්‍යාවක් ඡන්දය ලබාදුන හොත් “ඔව්” යැයි කියන්නාවූ සාමාන්‍ය බහුතරය, ඡන්දය දුන් සංඛ්‍යාවෙන් 1/3 ක් හෝ ඊට වැඩි විය යුතු බවත් ය.
ජනමත විචාරණයේදී පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීම සඳහා සියයට 54 ක් ඡන්දය දී තිබිණ.
ජනමත විචාරණය ගැන කතාව දැනට එපමණ ය. ඉන්පසු මැතිවරණ කල් දැමීමේ පනත් සංශෝධන ඉදිරිපත් නොකෙරුණාට, ජනමත විචාරණ පැවැත් විය යුතු ආකාරයේ පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ජනමත විචාරණ නොමැතිව පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩදී ඇත.
1987 සම්මත කෙරුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සිට පාර්ලිමේන්තුවෙහි එළෙසින් අවසන් වරට සම්මත කෙරුණු 20 වන ව්‍යවස්ථා සංශෝධනය දක්වා සංශෝධන 05 ක් දැනට ජනමත විචාරණ නොමැතිව නීතිගතව ඇත. ඉන් විශේෂයෙන් සංශෝධන 02 ක්, 17 සහ 18 සඳහා ජනමත විචාරණ පැවැත්විය යුතුයැයි අදහස් දැක්වුනු අතර, දැන් කියන අයුරු, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සම්මත කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 12 වන පරිච්ඡේදයෙහි අනු ව්‍යවස්ථා අංක 83(ආ) වෙනස් නොවන අයුරු සංශෝධනය කෙටුම්පත් කිරීමෙනි.
පළමුවරට බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස පළාත් සභා පිහිටුවනු ලැබූ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දකුණේ සිංහල සමාජයේද දිගහැරුණු දේශපාලන විරෝධතා හමුවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ල විසින් තීන්දු කරනු ලැබුවේ, “13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කරනුයේ සංස්ථාපිත ව්‍යවස්ථාමය හා අධිකරණමය ව්‍යුහය සඳහා ආදේශ වීමට නොව, ඒවාට අතිරේකයක්වීම” වන නිසා ඉන් විධායකයට බලපෑමක් නොමැති යැයි කියා ය. ඒ සමග ඔවුන්ගේ ස්ථාවරය වූයේ ශ්‍රී ලංකාවටම ඇත්තේ එක ශ්‍රේෂ්ඨාධිකරණයක් සහ අභියාචනාධිකරණයක් හෙයින් පළාත් සඳහා යෝජිත බලයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට කිසිදු අවහිරයක් අඩුවක් නොකරන බවය. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවූයේ එබැවිනි.
එතැන් සිට 17, 18 සහ 19 දක්වා සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ සතු මූලික අර්ථකතන වූයේ ඒවායෙන් විධායකයේ බලය සමස්ථයක් ලෙස හීන නොකෙරෙන බවත් විධායක බලය හුදෙක් පුද්ගලයෙකුට සීමා කර අර්ථ නොදැක්විය යුතු බවත් ය. විශේෂයෙන් 19 සම්බන්ධයෙන් අර්ථ ගැන්වූයේ අංක 04 අනුව්‍යවස්ථාවට අදාලව සිදුවන උල්ලංඝණය කිරීම් නියත වශයෙන් අනුව්‍යවස්ථා අංක 03 හි දැක්වෙන ජනතා පරමාධිපත්‍යයට අදාල නොවන බවය.
ඒ අනුව තේරුම්ගත යුතු මූලික කාරණාව නම්, ජනමත විචාරණයකට තීන්දු ලැබෙණුයේ විධායක බල ව්‍යුහයෙහි වෙනස්කම් ඇතිවෙතොත් සහ ජනතා පරමාධිපත්‍යයට අහිතකර ලෙස බලපාන්නේ යැයි කරුණු ඔප්පු කෙරුණ හොත් පමණි. 1982 ජනමත විචාරණයට තීන්දුව ලැබුණේ මැතිවරණ කල් තැබීමෙන් ජනතා පරමාධිපත්‍ය අහෝසි වන්නේ යැයි වූ පදනම මත ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 01 වන පරිච්ඡේදයෙහි අනු ව්‍යවස්ථා අංක 03 මගින් “පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ යැයි” වන අර්ථගැන්වීමක් ඇති බැවිනි.
ඊයේ පෙරේදා දැක්වුනු අදහස් වලට අනුව, 19 වන ව්‍යවස්ථ සංශෝධනය ජනමත විචාරණයකට හසු නොවන පරිදි කෙටුම්පත් කර ඇත්තේ 12 වන පරිච්ඡේදයේ 83(ආ) අනු ව්‍යවස්ථාව මග හරිමින් ය. එහෙත් එහි ඇති ප්‍රශ්නය නම්, එහි සඳහන් “…….. ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ග කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ග කරන්නාවූ” යන්න කියවා ගෙන ඇත්තේ කණපිටට වීමෙහි ය. කෙටුම්පත් කෙරුවන් පමණක් නොව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවද එය කියවා ඇත්තේ රුයිතයට ය. 1982 ජනමත විචාරණයට බලපෑවේ “……..පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ග කරන්නාවූ” යන ප්‍රතිපාදනය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනමත විචාරණයකට බඳුන් කෙරෙන්නේ ඒ කාලය දීර්ග කෙරෙන්නේ නම් පමණි. එනිසා 2015 අප්‍රේල් මස සම්මත කෙරුණු 19 වන සංශෝධනයෙන්ද ජනාධිපතිගේ සහ පාර්ලිමේන්තුවේ කාලය වසර 05 ට අඩු කරන්නට ඉඩ තිබිණ.
දැන් ඇතැමුන් උස්සාගෙන දුවන ඉකුත් ජූලි 12 වන දිනැති, (ජූලි මස 18 වන දින නිකුත් කෙරුණු) ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ කෙරෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහිද ධුර කාල දීර්ග කිරීමක් නැත. එහි සඳහන් වන්නේ 83(ආ) අනු ව්‍යවස්ථාවෙන් කියන “ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා” යන්නෙහි සාවුරුද්දක් යන්න පස් අවුරුද්දක් ලෙස සංශෝධනය කිරීමකි. කාලය අඩු කිරීම 83(ආ) අනු ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නොවේ. මෙය කාලය ඉක්මවා යෑම සඳහා වන සංශෝධනයක් නොව කාලය අඩු කිරීමේ සංශෝධනයකි. මෙයට ජනමත විචාරණ අවශ්‍ය වන්නේ නැත. ජනමත විචාරණයක් ගෙනැවිත් ජනාධිපති වික්‍රමසිංහ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන්නේ යැයි කීමේ පදනමක් එබැවින් මෙහි නැත.
අවිශ්වාසයක් ඇති කෙරෙන්නේ මේ මොහොතේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කිසිදු නෛතික හේතුවක් හෝ දේශපාලන තර්කයක් අදාල නොවන හෙයිනි. මෙය පසුව හෙමින් සීරුවේ අලුත් පාර්ලිමේන්තුවකින් කරගත හැකිව තිබුණකි. එබැවින් ජනාධිපති වික්‍රමසිංහ මෙය හදිසියේ ඉදිරිපත් කිරීමට තීන්දු කිරීම ඔහුම විස්තර කළ යුත්තකි. එවැනි නොකියවෙන දේශපාලන කුමන්ත්‍රණයක් මෙහි ඇතැයි පාරට බසින්නට කැඳවීම් කරන කල්ලි කණ්ඩායම් වලටද ඇත්තේ සටන් පාඨ පුවරු ඔසවා ගෙන උද්ඝෝෂණ කිරීම නොව, ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ඔවුන්ගේ ඉල්ලීම් සමග පෙත්සමක් ගොනු කිරීමය. ඔවුන්ද එවැන්නකට යන පාටක් නැත්තේ, ඔවුන්ද මේ දඟලන්නේ දේශපාලන වාසි සඳහා පමණක් විය යුතු හෙයින්ය.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී