තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් දූෂණය කල පාසල් සිසුන් දාහත් දෙනෙකු සහ ආධාර අනුබල දුන් කාන්තාවක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙදහස් විසිතුන වසරේ සිට අවස්ථා රැසකදී විවිධ ස්ථාන වලදී මෙම දැරිය මෙම සිසුන් විසින් සමූහ වශයෙන් දූෂණය කර ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.
එලෙස දැරිය අපයෝජනය කරන වීඩියෝ දර්ශන සැකකාර සිසුන් විසින් ලබාගෙන එම දර්ශන සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් දැරිය බිය ගන්වා විවිධ ස්ථාන වලට දැරිය රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වන බව තණමල්විල පොලිස් ස්ථානයේ උසස් නිලධාරීයෙක් පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් ගේ දෙමාපියන් ප්‍රදේශයේ යම් සමාජ බලයක් හිමි පිරිසක් වන අතර එම නිසා මෙම සිද්ධිය යටපත් කිරීමට ඔවුන් පාසලේ දී ත් ක්‍රියාකර ඇත.
ඊට අමතරව දැරිය වෛද්‍ය පරීක්ෂණය සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කල අවස්ථාවේ දී එහි වෛද්‍යවරයකු දැරියට සහ මවට බැණ වැදී බිය වද්දවා ඇති බවට දැරියගේ මව පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියටද මව විසින් පැමිණිල්ලක් සිදු කර ඇත.
එම සිද්ධියට කලකිරීමට පත් දැරිය රෝහලෙන් බිමට පැනීමට ද උත්සාහ දරා ඇති බවට තොරතුරු වාර්තා වන අතර එම දැරියට තිබූ මානසික පීඩනය දරාගත නොහැකිව ඇගේ කාමරයේ විවිධ සටහන් ද ලියා ඇති ආකාරය දක්නට ලැබිණ.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර -වැල්ලවාය)