මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර නිමිත්තෙන් මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අළෙවි සැල් වසා තිබිය දී පෙරහර මාර්ගයට නුදුරු ස්ථානායක වැඩි මිලට බීර කෑන් අළෙවි කරමින් තිබූ වෙළෙඳ සැලක් වැටලූ  මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරහර වීදි සංචාරය කරත් දී අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේ දී අදාළ වෙළෙඳ සැලේ තිබී බීර කෑන් 12 ක් සොයාගත් බව පොලීසිය පවසයි.

රුපියල් 550 කට මිල නියම කර තිබූ බියර් කෑන් 01 ක් මෙම ස්ථානයේ දී රුපියල් 1000 කට අළෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 30000 ක දඩයක් නියම කර ඇත. 

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් අදාළ වැටලීම සිදුකර  තිබේ.ඇසළ පෙරහර නිමිත්තෙන් මෙම මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අළෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here