රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තමා අලුත් ගමනක් ආරම්භ කළ බවත් එම ගමන ඉදිරියට ගෙන ගොස් ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගන්නවාද, නැත්නම් ආපසු රටක් ලෙස ඇද වැටෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ආර්ථික අර්බුදය හමුවේ රටට අනාගතයක් නැති බව පවසමින් අනෙක් නායකයන් පැන යද්දි තමා අසීරුවෙන් රටේ ආර්ථිකය ගොඩගත් බවත් රටේ ජනතාවට පොරොන්දු වූ පරිදිම ඉදිරියේ දී තවත් සහන සලසාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (06) පස්වරුවේ හිනිදුම ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අපනයන ආර්ථිකයක් ගැන තමන් කථා කරන විට එදා ඊට විරුද්ධ වූ අනුර කුමාර දිසානායක අද අපනයන ආර්ථිකයකට යොමු වන බව පවසමින් ආණ්ඩුවේ බෙරය වාදනය කරන බවයි.

එබැවින් ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න රටට ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here