රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකසට තබා මුදල් ලබාගත් කාන්තාවක් හැටන් පොලිසිය විසින් (24) දින අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (25) දින ඉදිරිපත් කල අවස්තාවේ ලබන මස (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කලේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ පදිංචි අවු 48 හැවිරිදි තිදරු මවකි.

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වි සිටින සැකකාර කාන්තාව රන් ආලේපිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද කුඩා මුදු, පංචායුධ, කරාබු හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල පිහිටි උකස් මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රැගෙන ගොස් උකස් කර මුදල් ලබා ගැනිමේ ජාවාරමක් කාලයක් තිස්සේ සිදු කර ඇත.

උකස් ගන්නා රන් ආභරණ පරික්ෂා කරන යන්ත්‍ර වලට පවා හසු නොවන ආකාරයට මෙම ව්‍යාජ ස්වර්ණාභරණ සකස් කර ඇති බවත්, එම කාන්තාව (25) දින එසේ සකස් කරන ලද ව්‍යාජ මුදු කිහිපයක් හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කිරිමට පැමිණි අවස්තාවේ ඒ පිලිබදව සැකසිතු එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට කල දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇය සන්තකයේ රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදු කිහිපයක් තිබි සොයාගෙන ඇත.

කාලයක් තිස්සේ එම සැකකාර කාන්තාව මෙම ජාවාරම ජයටම සිදුකරගෙන ගොස් ඇති බවත්, ඒ පිලිබදව (24) දින සිට මේ වන තෙක් හැටන් පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

සැකකාර කාන්තාව විසින් මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් විශාල මුදලක් උපයාගෙන ඇති බවත්, සැකකාරිනිය විසින් හැටන් නගරයේ මෙවැනි ආකාරයට උකස් තැබු ව්‍යාජ රන් ආභරණ පොලිස් භාරයට ගැනිමට කටයුතු කර ඇති බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here