සංචාරය කිරිමට ලොව හොඳම රටවල් අතර පස්වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන බව සී ඕ වර්ල්ඩ් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා.

වාර්ෂික සංචාරක ඉලක්කය මිලියන හතර දක්වා වැඩිකර ගැනීම රජයේ අරමුණ වී තිබෙනවා.

මෙරට සංචාරක ව්‍යාපාරය තුළ විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ මුල්මාස 9 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දාහතරලක්ෂ අසූහතරදහස් අටසිය අටක්.

එය පසුගිය වසරට සාපේක්ෂව විශාල වර්ධනයක් බවයි සංචාරක අධිකාරිය පෙන්වා දෙන්නේ.

2023 වසරේ දී පමණක් විදෙස් සංචාරකයන් දාහතරලක්ෂ අසූ හත්දහස් තුන්සිය තුන්දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

2024 වසරේ මුල්මාස 8 තුළ දී ඩොලර් බිලියන 2.16ක් සංචාරක කර්මාන්තයෙන් ඉපැයීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී පමණක් විදෙස් සංචාරකයින් එක්ලක්ෂ විසිදෙදහස් එකසිය හතලික් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 9.11%ක වර්ධනයක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

මෙම වසරේ වැඩිම විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව දෙලක්ෂ හැටපන්දහස් විසිනවයක්.

එක්සත් රාජධානිය,  රුසියාව,  ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් ද විශාල ප්‍රමාණයක් සංචාරකයින් මේ දක්වා මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරකයන්ට නිසි පහසුකම් හා ආරක්ෂාව සැලසීමෙන් එම කර්මාන්තය තවදුරටත් දියුණු කළ හැකි වනවා.

ක්ෂේත්‍රයට අදාළ සියලුදෙනාගේ දැඩි කැපවීම එහිදී ඉතා වැදගත්.

මෙරට සංචාරක කර්මාන්තය හරිහැටි දියුණු කළ හොත් ආර්ථික ගැටලු රැසකටම එයින් විසඳුම් ලබා ගත හැකි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here