මෝටර් රථ තාක්ෂණ ශිල්පය හදාරමින් සිටි සිසුවෙක් ඔහු පුහුණු වූ බස් රථයටම යටවී මරණයට පත්වූ පුවතක් ආණමඩුවෙන් වාර්තා වනවා.
ආණමඩුව කාර්මික විද්‍යාලයේ මෝටර් රථ තාක්ෂණ ශිල්පය පාඨමාලාව හදාරමින් සිටි සිසුවෙකු අදාළ පුහුණුවීම්වලට යොදා ගත් බස් රථයටම යටවී බරපතළ ලෙස තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (03) දින මරණයට පත්වූ බව ආණමඩුව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ආණමඩුව මහ උස්වැව ප්‍රදේශයේ පදිංචි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු නමැති 17 හැවිරිදි සිසුවෙක්.
අදාළ බස් රථය කාර්මික විද්‍යාල භූමියේ තබා අලුත්වැඩියා (වයරින්) කටයුත්තක් සඳහා යොමුකර වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී එයට හදිසියේ නැඟීමට ගොස් ලිස්සා යාමෙන් මෙම සිසුවා බිම ඇඳවැටී ගමන් කරමින් තිබූ බස් රථයටම යටවී තිබෙනවා.
බරපතළ ලෙස තුවාල ලැබූ සිසුවාව ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
චාමික මෝටර් රථ තාක්ෂණ ශිල්පය මැනවින් හදාරමින් එහි සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසුවෙකු බව කාර්මික විද්‍යාලයේ ගුරුවරුන් පවසන අතර ඔහුගේ දක්ෂතා නිසාම එම පාඨමාලාව අවසන් වීමෙන් පසු ඔහු එම ආයතනයේම රැකියාවක් සඳහා බඳවා ගැනීමටද සැලසුම් කර තිබූ බවත් පැවසෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථය ආණමඩුව පොලීසිය භාරයට ගෙන තිබෙනවා.