නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවිය පිළිබඳව පොලීසිය විසින් තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

මේ වනවට ඇයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.

ඊයේ (07) පස්වරුවේ අදාළ තරුණිය නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණ තිබුණා.

පොලිසිය සඳහන් කළේ, එහි 29 වන මහලේ නැරඹුම් මැදිරිය අසලින් එම සිසුවිය පහළට පැන ඇති අතර මළ සිරුර එම කුලුනේ තෙවන මහළට වැටී ඇති බවයි.

ඇය අධ්‍යාපනය ලබන පාසලේ නිල ඇඳුම පාසල් බෑගය තුළත් ඇයගේ සපත්තු දෙක නැරඹුම් මැදිරිය අසලත් තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. 

මරණකාරිය වයස අවුරුදු 16ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, ඇය කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් තරුණ පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවත්, එම සිදුවීම හේතුවෙන් ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවත් මරණකාරියගේ පියා පොලිසිය වෙත දන්වා තිබෙනවා.

පසුගිය ජූලි මස 02 වැනිදා 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන සියදිවි හානිකරගෙන තිබුණා.

එම සිදුවීමෙන් මාස තුනකට පසුවයි මෙම සිද්ධිය වාර්තාවන්නේ.

අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් පැන සියදිවි නසා ගත් මොවුන් දෙදෙනා කොළඹ පිහිටා ඇති ජාත්‍යන්තර පාසල 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අය වූ අතර එහිදී තොරතුරු වාර්තා වුණේ, ඔවුන්ගේ මළ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වැනි මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබිය දී සොයාගත් බවයි.

එහි 05 වන මහලේ පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති ඔවුන් එම ස්ථානයේදී සිය පාසැල් ඇඳුම් මාරු කර වෙනත් ඇදුම් පැළද 67 වන මහලට පිටව ගොස් ඇති බවයි CCTV දර්ශනවල දැක්වුණේ.

කෙසේවෙතත් ඊයේ දින පස්වරුවේ නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානිකරගත් සිසුවිය ද එලෙසම පාසැල් ඇඳුම් මාරු කර වෙනත් ඇදුම් පැළඳගැනීමට කටයුතු කර තිබෙන බව පොලීසිය තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පවත්වන අතර  මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here