පරිගණක අපරාධ සිදු කිරීම සඳහා මෙරට රැඳී සිටින බවට සැක කරන චීන ජාතිකයෝ 126 දෙනෙකු මහනුවර කුණ්ඩසාලේ සුපිරි තරු හෝටලයක රැඳී සිටියදී මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකය හා මහනුවර මූලස්ථාන පොලිසියේ තවත් පොලිස් කණ්ඩායම් කීපයක් එක්ව 13 දා පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.                                                                                                                

මෙම තරු හෝටලයේ සුඛෝපභෝගී කාමර 72 ක් ඇති අතර ඉන් කාමර 47 ක් මෙම චීන ජාතිකයෝ විසින් මාස 06 ක කාලයක් සඳහා කුලියට රැගෙන ඇති බව පොලිසිය කියයි. මෙම චීන ජාතිකයෝ  ඉකුත් සැප්තැම්බර් මස 30 දින සිට මෙම හෝටලයේ රැඳී සිට ඇති අතර ඔවුහු හෝටල් පාලනාධිකාරියට සඳහන් කොට ඇත්තේ තවත් චීන ජාතිකයෝ 75 දෙනෙකු ඉදිරි දින කීපය තුළ නවාතැන් ගැනීම සඳහා පැමිණෙන බවය.                                                                                                                             

මෙම චීන ජාතිකයන් සන්තකයේ තිබී laptop පරිගණක 120 ක් desktop පරිගණක 14 ක් නවීන ජංගම දුරකථන 300 කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාල පහසුකම් සැපයුම් රවුටර 50 කට අධික සංඛ්‍යාවක් මෙන්ම මෙම දුරකථන හා පරිගණක සම්බන්ධ කර හැකි නවීන තාක්ෂණික උපකරණ හා මෙවලම් තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.                   

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරක් මත මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, පොලිස් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ මහනුවර උප ඒකකය, මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය එක්ව මෙම වැටලීම සිදුකොට ඇති අතර  වැටලිම සිදු කරන අවස්ථාවේ චීන ජාතිකයෝ කීපදෙනෙක් මහවැලි ගඟ දෙසින් පලා ගිය බවද පොලිසිය පවසයි.                                                                                                               

ලොව පුරා විශාල වසයෙන් මුදල් ඇති බැංකු ගිණුම් පිළිබඳ සූක්ෂමව විමර්ශනය කොට අන්තර්ජාලය හරහා එම ගිණුම් වලින් රුපියල් බිලියන ගණන් වංචනිකව ලබා ගැනීම මෙම චීන ජාතිකයෝ සංවිධානාත්මකවම සිදුකරන බවද පොලිසිය පවසයි. අන්තර්ජාලය උපයෝගී කරගනිමින් නීති විරෝධීව මුදල් වංචා කිරීම යටතේ මෙම චීන ජාතිකයන් හට නඩු පවරන බවද මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙම චීන ජාතිකයෝ සංචාරක වීසා මත මෙරට රැඳී සිටින අතර පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම ස්ථානයෙන් පලා ආ චීන ජාතිකයෝ 26 දෙනෙක්ද අත් අඩංගුවට පත් වූවන් අතර වන බවත් භාෂා පරිවර්තකයකු වශයෙන් සැලකෙන ශ්‍රී ලාංකිකයෙකුද අත් අඩංගුවට ගත් බවත් මෙම කණ්ඩායම හෝටලයේ උත්සව ශාලාව සම්පූර්ණයෙන් ලබාගෙන එහි සිට මෙම අන්තර් ජාල අපරාධ සිදුකොට ඇති බව සඳහන් වන අතර එම ප්‍රදේශය හෝටලේ සේවකයන්ට පවා තහනම් ප්‍රදේශයක් වූ බවද සඳහන්වේ.                            

ඉතාමත් සුඛෝපභෝගී ආහාර පාන ලබාගෙන ඇති මෙම චීන ජාතිකයෝ දින 08 කට ආහාර ලබා ගැනීමේ උදෙසා රුපියල් ලක්ෂ 50 කට ආසන්න බිලක් ගෙවා ඇති බවද පොලිසිය පවසයි. මෙම චීන ජාතිකයෝ හෝටලයෙන් පිටතට නොගොස් හෝටලේ තුළම රැඳී ඇති බව සඳහන් වන අතර ඔවුන් හෝටලේට යන එන ආකාරය දැක ඇති ප්‍රදේශවාසීහූ පොලිස් හදිසි ඇමතුම් අංශයට කීප විටක් කතාකොට ඒ පිළිබඳව දැනුවත් කොට ඇතත් ඒ ඇමතුම් අනුව මෙම හෝටලයට පැමිණ ඇති පොලිස් ජංගම රථ නිසි පරීක්ෂාවක් නොකොට හෝටල් පාලන අධිකාරියෙන් තොරතුරු විමසා ගොස් ඇති බවද සඳහන් වේ.

මෙරටදී එකවර අත් අඩංගුවට පත් වූ වැඩිම චීන ජාතික සංඛ්‍යාව මෙය බවද සඳහන් වේ. අත්අඩංගුවට පත් වූ චීන ජාතිකයන් අතර තරුණියෝ 17 දෙනෙකුද සිටින බව පොලිසිය සඳහන් කරන අතර මෙම සැකකරුවෝ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here