හාල් සේරුව සත හතළිස් හතකින් වැඩි කළ පාපයට ඩඩ්ලි සේනානායක අගමැතිකම අත හැර සමු ගත් නමුත් 53 හර්තාලයෙන්

වසර 71කට පසුව ලංකාවේ මහා පරිමාන මෝල් හිමියන් සහල් තොග හංගා ජනතාව ගසා කමින් රටේ පාලනයටත් ඉහළින් පිනුම් ගසමින් සිටිති.

සැප්තැම්බර් 21 පෙර සිටි ප්‍රභූ අගමැති ජනාධිපති වරුන් සාක්කුවේ දමා ගෙන හාල් තොග හංගා උපයන මුදලින් කොටසක් පාලකයන් දුන්නා කියා චෝදනා කොට බලයට පත් මාලිමා නිර් ප්‍රභූ ත්‍රී පුද්ගල කැබිනට් පාලනයත් හාල් හංගන සිටුවරුන් විසින් දන ගස්වා ඇති හැටියකි. මහා පරිමානයේ හල් මෝල් වැටලීමට පනතෙන් බලය දී නැති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ෂණ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මාධ්‍යයට ප්‍රකාශයට සතියක් ගත වී ඇතද බලධාරින් එකී ප්‍රකාශය එය ප්‍රතික්ෂේප නො කිරීම විමතියට කරුණාකි.

මහා පරිමානයේ මෝල් වටලා හාල් තොග පරීක්ෂාවට නෛතික බලයක් නැත යන්න සැප්තැම්බර් 22දා බලයට පත් නිර් ප්‍රභූ කැබිනට්ටුව සිය නම්බුව බේරා ගැනීමට නිලධාරින් ලවා කියවූ පල් බොරුවකි. 2020 මැයි මස 23 දින, පොළොන්නරුවේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාන වී මෝල් 8ක් වටලා තොග පරීක්ෂා කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක කළ ප්‍රකාශයක් එ දිනම ලංකාදීප වෙබ් අඩවියේ පළවිය. එහිදී ඩඩ්ලි සිරිසේනගේ අරලිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ නිපුන හාල් මෝල්ද එකී වැටලීම් වලදී පරීක්ෂා කර තොග ගණන් ගත් නමුත්, එහිදී රජයේ පාලන මිලට හාල් අලෙවි කිරීමට හාල් මෝල් හිමියන් එකඟ වූ නිසා එකී සහල් තොග අත් අඩංගුවට ගෙන නැත.

එහෙත් 2021 සැප්තැම්බර් 9 වෙනිදා පොළොන්නරුවේ අරලිය, නිපුන නව රත්න ලත්පඳුර යන මහ මෝල වටලා සඟවා තිබූ හාල් කිලෝ ලක්ෂ 12ක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික)එන්.ඩී.එස්.පී. නිවුල්හැල්ල විසින් අත් අඩංගුවට ගත් බව දිවයින පත්‍රයේ පළ විය. මෙසේ ගෝඨාගේ පාලන කාලයේ මහා පරිමාන හාල් මෝල් වැටලීමට පැවති නෛතික බලය ජනාධිපති දිසානායකගේ ආණ්ඩුවට අහිමි වීම නම් සහගහන අපරාධයකි.

2020 මැයි සහ 2021 සැප්තැම්බර් කාලයේ වාර්ෂිකව දෙවරක් සිදු කළ බවට වාර්තා වන වැටලීම් සමහර විට මෝල් හිමියන් සහ පාලක ගොඨාභය එක්ව රඟ දැක්වූ මාධ්‍ය සංදර්ශණ විය හැකිය. එකී සැකයට හේතුව, අරලිය මෝල් හිමි ඩඩ්ලි සිරිසේන ගෝඨාභයගේ සමීපතමයෙකු වීමත්, නිපුන මෝල් හිමි  සිරිපාල ගම්ලත් රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වීමත් නිසාය.

මෙහිදී ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනට අනුව, ගැහැනියක් මිනිසෙක් කිරිමට හැර අනෙක් සියලු බල ශක්තින් අන්තර්ගත විධායක ජනාධිපති බලතල ජනතා යහපත වෙනුවෙන් අඟලක් දෙකක් සීමාවෙන් එහා මෙහා කිරීමට නිර් ප්‍රභූ අනුර කුමාර දිසානායක උත්සාහ නො කිරීම 42.31%ක් හෙවත් පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසිය පහළොවක් ගොඩ නැගූ මාලිමා ආණ්ඩුවේ පසුබෑමකි.

පැය විසි හතරෙන් සිංහල රාජ්‍ය භාෂාව කරන බව බණ්ඩාරනායක දුන් පොරොන්දුවත් ආචාර්ය අන්.ඇම්. මෙහෙයවූ හාල් හර්තාලයේ ඓතිහාසික පරාජය මෙන්ම මාලිමාව රටට දිවුරා කී පරිදි, 225ක් හොරුන් අල්ලා හිරේ දැමීම මෙන්ම, මහා පරිමාන හාල් මෝල් හිමියන් පාරිභෝගිකයන් ගසා කෑමට ඉඩ දීමත් දේශපාලන කයිවාරු හැටියට ඉතිහාස ගතවිය හැකිය.

හොරකම් වංචා දූෂණ චෝදනා නිසාම ජනතාව ප්‍රතික්ෂේප කළ එජාප ශ්‍රීලනිප වැනි පක්ෂවල බිම් මට්ටමේ ක්‍රියාකාරින්, වර්තමාන පාලකයන් හොරුන් වංචා කාරයන් අල්ලා හිරේ දැමූ පසුව තමන් ආදරය කළ පක්ෂ යළි ගොඩ නැගීමට අපේක්ෂා කරති.

හර්තාලයෙන් හරියටම වසර 20කට පසුව හර්තාල් වීරයා එනම් ආචාර්ය ඇන්.ඇම්. රටේ මුදල් ඇමතිව සිටියදී සතියට දෙවරක් රටේ ජනතාවට බත් කෑම තහනම් කළේ හෙඳන් හෝ හාල් ගෙනැවිත් දෙන බව කියා රටේ බලය ගත් බණ්ඩාරනායක අගමැතිනිය විසිනි. ජනාධිපති දිසානායකත්  ආචාර්ය ඇන්.ඇම්.ලා මැතිනියලා ගිය අඩි පාරේම ගමන් කරමින් වදන පටලවා හාල් මෝල් වැටලීමට නීති නැත කියන තැනට තල්ලූවී හමාරය.

අලි පාළු, වගා පාළු, කෘෂි රසායන, වී මිල වැනි කොළඹින් ඈත ප්‍රදේශවල ගොවි ප්‍රශ්න උළුප්පා සතියට දෙතුන් වරක්වත් ජවිපෙ සෙට් මහ පාරට බස්සවා පාලකයන්ට අභියෝග කළ නාමල් කරුණාරත්නලා, මහා හාල් මෝල් වටලා හාල් තොග වෙළඳ පොළට මුදා හැරීමට මැදිහත් විය යුතු වුවත් එසේ නො කරති. හේතුව හාල් තොග සඟවා ජනතාව ගසා කෑමට පුරුදු වූ මෝල් හිමි හාල් සිටුවරු, සුපුරුදු හැටියට සිය බඩ කඳ ආරක්ෂාවට ජනාධිපති මැතිවරණයේදී රූපවාහිනි දැන්වීම් දැමීමට, පෝස්ටර් ගැසීමට පක්ෂ කාර්යාල විවෘත කර පවත්වා ගෙන යාමට රැළි සඳහා බස් වලින් සෙනග ඇදීමට මාලිමා පින් කැටයට කෝටි ගණන් පඬුරු දමා තිබිම විය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හේතු මත වසා දැමූ කොළඹ ජනාධිපති මාවතේ සිට බාරෝන් ජයතිලක මාවත හරහා යෝක් වීදියට පිවිසීමට මහ පාර එක් පැයකින් විවෘත කොට, අරලිය ගහ වලව්ව වටේ ඉදි කළ මුර කුටි බිමට සමතලා කළ ජනාධිපති දිසානායක, ශ්‍රී දළදා මාලිගාව අසලින් අවහිර කළ ඒ 26 පාර විවෘත කිරීමට තවමත් ලතවීම ගැටළුවකි. ඊට හේතුවත් මෝල් හිමි හාල් සිටුවරු මෙන් පඬුරු කාසි වැනි ආනුභාව සම්පන්න බලපෑමක් නිසා විය හැකි යයි මහනුවර ප්‍රදේශ වාසින් සැක කරති. දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය රෝහල් වලින් හදිසි ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යොමු කළ අසාධ්‍ය රෝගින්, වැව රවුමේ තද බදය හේතුවෙන් කඩිනමින් කළ යුතු ප්‍රතිකාර පමා වීමෙන් ගිලන් රථ තුළම සිදු වූ අවාසනාවන්ත මරණ නතර කිරීමට දළදා හාමුදුරුවන්ද නො හැකි විය. ඒ 26පාර වැසීමට එරෙහිව මහනුවර ප්‍රදේශ වාසීන් කළ උද්ඝෝෂණ සහ දැනුවත් කිරීම් වලට සහභාගි ව එකී පාර වැසීමෙන් මහනුවර නගරය ගිල ගත් වායු දූෂණය සිය ගුණයෙන් ඉහළ ගිය හැටි විද්‍යාත්මක පර්යේෂණ දත්ත ඉදිරිපත් කරමින් විස්තර කළ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුමත් පසුගිය මැතිවරණයේදී මාලිමාවට සහාය පළ කළ බව මහනුවර ජනතාව දනිති. මාලිමා ජයග්‍රහණයට ප්‍රසිද්ධියේ ආශීර්වාද කළ මල්වතු මහා හිමියයෝද ඒ 26 මාර්ගය මාලිගාව ඉදිරිපිටින් වසා දැමූ අවස්ථාවේ පටන් එකී අවහිරය ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ පසුවෙති.

53 හර්තාලයෙන් හරියටම වසර 20ක් ගෙවී ගිය නවසිය  හැත්තෑ තුනේදී, හෙඳන් හාල් කෑමට ආණ්ඩුවක් පත් කළ රටේ ජනතාවට සතියට දින දෙකක් බත් කෑම තහනම් කිරීමෙන් හර්තාල් වීරයා අවලංගු වී යද්දී, රටේ ජනතාව බත් දුන් පියා කියා දිවංගත ඩඩ්ලි සේනානායකට බුහුමන් දැක්වූහ. ජයග්‍රාහී හර්තාලයෙන් (1953-2024) වසර හැත්තෑ එකකට පසුව හාල් හංගා කෝටි ගණන් යටි මඩි ගසන හාල් සිටුවරුන් හමුවේ, නිර් ප්‍රභූ ත්‍රී පුද්ගල මාලිමා කැබිනෙට්ටුවත් අන්ත අසරණ වී සිටී. ජනාධිපති දිසානායක බලයට පත්වූ පසුව පාලන මිලට සහල් වෙළඳ පොළට නිකුත් කරන බවට ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේ මෝල් හිමි ඒකාධිකාරයත්, සහල් මිල තීරණය කිරිමේ බලයත්, වෙළඳ පොළට සහල් නිකුත් කිරීමේ අධිකාරියත් අත්පත් කර ගෙන සිටින නිසා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙනුවෙන් කළ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි ය.

හාල් මිල අර්බුදය ගැන අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා, නව පාලනය යටතේද මහා පරිමාන හාල් මෝල් හිමියන් පෙර පරිද්දෙන්ම හැසිරීම ගැන මහා බලගතු ජනාධිපති දිසානායක ගොළු වී සිටින බවට චෝදනා කරයි. මහා පරිමානයේ මෝල් හිමියන් පස් දෙනෙකු විසින් හාල් තොග සඟවා සිටීම සම්බන්ධව පියවර ගැනීමට පාලකයන් සිවිල් සමාජය මෙන්ම ගොවි සංවිධානද මැදිහත් විය යුතු බව විශ්‍රාමික කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න කියයි.

හාල් මිල ඉහළ ගියද වෙළඳ පොළේ සහල් අඩුවක් නැති බවට මරදගහමුල සහල් සංගමයේ එස්.එස්.රණසිංහ කළ ප්‍රකාශයෙන් පෙනී යන්නේ සහල් හිඟය වෙළෙඳුන්ගේ සෙල්ලමක් බවය. මිල වැඩි කීරි සම්බා අලෙවි නොවන හෙයින් වැඩි ඉල්ලූමක් ඇති නාඩු හාල් හංගන සෙල්ලම වහා නතර කළ යුතුව තිබේ. කීරි සම්බා මළු තුනක් ගනියි නම් පමණක් එක් නාඩු මල්ලක් නිකුත් කරන  මෝල් මාෆියාවක් ගැන සිල්ලර වෙළෙඳුන්  කරන චෝදනා පාරිභෝගික අධිකාරියට  ඇසෙන්නේ නැත.

2021 සැප්තැම්බර් 9 වෙනිදා කළ වැටලීමේදී පොළොන්නරුවේ අරලිය හාල් මෝලෙන් සහල් කිලො. 380000ක්, නිපුන හාල් මෝලෙන් සහල් කිලො. 100000ක්, නව රත්න හාල් මෝලෙන් සහල් කිලො. 200000ක් සහ  ලත්පඳුර 50000ක් යන ආදි ලෙස සඟවා තිබී අත් අඩංගුවට ගත් ප්‍රමාණය හාල් කිලෝ ලක්ෂ 12ක් පමණක් වීමත්, 2020 සිදු කළ වැටලීමේදි සොයා ගත් සහල් අත් අඩංගුවට නො ගැනීමත් කීරි සම්බා මළු තුනකට එක් නාඩු මල්ලක් විකිණීම ජාතියේ සෙල්ලමකි.

ඉන්දියවේ කයිරා ප්‍රදේශයේ කිරි ගොවි අරගලය කෘෂිකර්ම අමාත්‍ය හැටියට ජනාධිපති දිනානායක යසසිරි ජනක කුමාර පරිවර්තනය කළ වර්ගීන් කුරියන්ගේ භාරත කිරි විප්ලවය කියවා හැදෑරිය යුතුවේ. එකී අරගලයට  නායකත්වය දුන් සර්දායි වල්ලබායි පටේල්  නිදහස් අරගලයේ ප්‍රමුඛයෙකු මෙන්ම, පළමු නිදහස් ඉන්දියාවේ නියෝජ්‍ය අගමැති ලෙස පත්විය. 1925 තරම් ඈතක ආනන්ද් ප්‍රදේශයේ කිරි ව්‍යාපාරය විධිමත් අධ්‍යාපනයක් නොලද පාර්සි ජාතික පෙස්ටන්ජී එඩුල්ජීගේ පොල්සන් ව්‍යාපාරයේ අත් අඩංගුවේ තිබිණ. ගොවීන් සමග ඇතිවූ ආරවුලේදී බ්‍රිතාන්‍ය බලධාරින් පොල්සන් ආරක්ෂා කිරීමට එරෙහිව මොරාජ් දේසයි මෙහෙයවූ කයිරා කිරි ගොවීන්, දොවා ගත් කිරි මහ පාරේ හලා දියත් කළ අරගලයේ ජයග්‍රහණය  අමුල් ව්‍යාපාරයේ ඉතිහාස කතාවයි.

නිර් ප්‍රභූ පාලකයන් ජනතා සුභ සෙත අපෙක්ෂා කරයි නම් සහල් මාෆියාවට නිත්‍ය විසඳුම් සෙවිය යුතුවේ. පළමුව පාරිභෝගික ආරක්ෂවට ක්ෂණික පිළියම් යොදා දෙවනුව සහල් මාෆියාවට අභියෝග කළ හැකි (ඉන්දීයවේ අමුල් කිරි සමුපකාර ව්‍යාපාරය මෙන්) පලදායි යාන්ත්‍රණයක් වහා නිර්මානය කළ යුතුවේ. සහල් ඒකාධිකාරයෙන් පීඩා විඳින පාරිභෝගිකයාත් වී නිෂ්පාදකයාත් තවත් අප්‍රේල් අරගලයකට තල්ලූ නො කිරීමට ජනාධිපති දිසානායක වග බලා ගත යුතුවේ.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here