2019 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම නොවැම්බර් මස 29 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නියෝගය අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ, නඩු තීන්දුව සුදානම් නොමැති බවයි.

ඒ අනුව, නඩු තීන්දුව නොවැම්බර් මස 29 වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

2019 නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇති විය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ඒ අනුව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ජනාධිපතිවරණය පනත් සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here