දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ ගාල්කර තිබිය දී තෙල්දෙණිය පොලීසිය විසින් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථය වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කරනු ලැබ ඇත්තේ කලක් මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා බව අනාවරණය වීමෙන් පසු පොලීසිය පෙරේදා (02) පස්වරුවේ ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් හිටපු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෙම ජීප් රථය සති කිහිපකට පෙර අදාළ ස්ථානයට ගෙනවිත් දැමූ බව දේවාගැතිවරයාගේ පුත්‍රයෙකු පවසා තිබූ අතර පොලීසිය නොමඟ යැවීමේ අරමුණින් ඔහු එසේ ප්‍රකාශ කර තිබෙන බව පසුව අනාවරණය විය.

මහනුවර පිලපල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක අංකය භාවිතා කරමින් මෙම ජීප් රථය සැකකරු ඇතුළු පවුලේ උදවිය ධාවනය කර තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බව පොලීසිය පවසයි.

මෙම දේවගැතිවරයා රන් කිලෝ හතරක පහක පමණ ප්‍රමාණයක් පැළඳ ප්‍රසිද්ධ ස්ථාන වල සැරිසරන අතර පසුගිය කාලයේ දී ගාල්තැන්නේ පිහිටි ඔහුගේ දේවාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට මධ්යම පළාතේ හිටපු ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබිණි.

මෙම දේවගැතිවරයා සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් තිබෙන බවත් කොටස් එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඒ අතර තිබෙන බවට ලද තොරතුරු මත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බව තෙල්දෙණිය මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

(කමල් සුරවීර මහනුවර)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here