මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.

ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් 07 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.

මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෑම ඡන්ද දායකයෙකුම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ලබා දිය හැකි බව සඳහන්ය.

ඡන්දය ලබාදෙන දේශපාලන පක්ෂය හෝ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස්කොටුව තුළ කතිර ලකුණක් යෙදිය යුතු වනවා.

ඉන් අනතුරුව එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාමයෝජනා ලබා දෙන ලද තුන්දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනක් සඳහා මනාපය පළ කිරීමට ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක්එක් අපේක්ෂකයන්ට වෙන්කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර සලකුණක් යෙදීම සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ඡන්දදායකයා විසින් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය පළ කර ඇත්නම් හෝ පසුව හඳුනාගනු ලැබීමට හේතුවිය හැකි යම් ලකුණක් ඡන්ද පත්‍රිකාව මත තැබුවහොත් එම ඡන්දය බලරහිත වන බව සඳහන්.

එමෙන්ම ඡන්දය සහ මනාපය ලබා දී‍මේ දී කතිරය පමණක් භාවිතා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here