හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබෙනවා.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ලොහාන් රත්වත්තේ ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත ඊයේ (03) යොමු කර තිබෙනවා.

නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයෙකු විසින් තමන් වෙත භාරදුන් බව කියන ලියාපදිංචි නොකරන ලද ජීප් රථයක් ලඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරලියද්ද හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තෙල්දෙණිය – දිගන ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් අසළ දමාගොස් තිබූ තවත් සුඛෝපභෝගී ජිප් රථයක් තෙල්දෙණිය පොලිසිය පසුගිය සිකුරාදා (01) සොයාගත්තා.

මෙම රථය පසුගියදා වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ, පෞද්ගලික ලේකම් සංජීව බස්නායක නමැත්තා මහනුවර ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මෙම කපු මහතාට ලබා දී ඇති බවට පසුව අනාවරණය වි තිබුණා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් මීට සති කිහිපයකට පමණ පෙර තමන් වෙත ලබාදුන් බව ගාල්තැන්නේ කපුමහතා පොලිසියට පවසා තිබුණද වසරකට වැඩි කාලයක සිට අදාළ කපු මහතා ලග මෙම ජීප් රථය තිබී ඇති බවට පොලිසිය සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, ඔහු සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් ද තිබෙන බවත් එහි එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඇති බවට පොලිස් විමර්ශනවලින් වැඩිදුරටත් අනාවරණය වු බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here