මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ලබන 7 සහ 8 යන දිනවලදී ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.
මහ මැතිවරණය ලබන 14 වනදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
ඒ සඳහා වන තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 30, නොවැම්බර් 1 සහ ඊයේ (04) දිනයේ දී සිදුකෙරුණා.
මෙම දිනයන්හිදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ලබන 7 වනදා සහ 8 වනදා යන දිනයන්හි ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා තිබෙනවා.
තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම දින දෙකෙහි තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.
මේ අතර ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර තැපැල් ඡන්ද දායකයින්ගේ වැඩිවීමක් වාර්තාවී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පවසනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම මේ වනවිට සිදුකෙරෙනවා. එම පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට සිය අනන්‍යතාව තහවුරුකර තැපැල් කාර්යාල වලට පැමිණ ඡන්ද පත්‍රිකා ලබාගත හැකියි.
මේ අතර මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නියෝග කළා.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමටයි තීන්දු කළේ.
ඒ අනුව මැතිවරණයේ ඉදිරි කටයුතු නියමිත දිනට කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යාහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ කඨින පිංකම් පැවැත්වීම පිළිබදව ද මහා සංඝරත්නය සමග මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබෙනවා.
මැතිවරණය පැවැත්වුවද කඨින පිංකම් ගැටලුවකින් තොරව පැවැත්විය හැකි බවට මහා සංඝරත්නය දැනුම් දුන් බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සදහන් කළේ.