10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත් සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට ජනාධිපතිවරයාට බලතල හිමිවී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන බවයි.

මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නව සභාචාරයක් ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණා.

වත්මන් ක්‍රියාදාමය අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාද හෝ ඒ පිළිබඳ ඡන්ද විමසීමක් සාමාන්‍යයෙන් සිදු වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here