පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අද (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය පැවැත්වීමට නියමිත බවයි.

මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කතානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා.

මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here