දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (29) පස්වරු 6 එම නිවේදනය නිකුත් කර ඇති අතර, ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද පස්වරු 2.30 පමණ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 310ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.  

එය සුළි කුණාටුවක් ලෙසින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර තමිල්නාඩු වෙරළ වෙත හෙට දින ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වනවා.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here