ජාතික මැතිවරණ දෙකකින් පිට පිට පරාජය වී සිටින විපක්ෂය දැන් සිටින්නේ හතර ගාතයෙන් බිම වැටීය. වැටුණු තැනින් නැගිටීමට සැලසුම් සකස් කිරීම වෙනුවට විපක්ෂය තවමත් සිටින්නේ ජාතික මන්ත්‍රි ධුර පුරවා ගැනීමට නොහැකිව කුලල් කා ගනිමිනි. ඇත්තටම මාලිමාවේ විජයග්‍රහණය ඉදිරියේ විපක්ෂයට යළිදු වරක් නැගිටීමට හැකිය. මේ, ඒ පිළිබඳ ආචාර්ය දයාන් ජයතිලක කරන විග්‍රහයයි.
යුද ජයග්‍රහණයෙන් පසුව හෝ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පසුව නොවූ ආකාරයට දෙතුන් සතියකට ඉහතදී ඡන්ද මාරුතයක් ඇතිවිය. සංස්ථාපිත පාලනයට විරුද්ධව ඇතිවූ රළවේගයේ සැර එයට හේතු විය.
1952 මහ මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ නමුත් ඉන් වසරකට පසුව හර්තාලය ඇතිවූයේ හාල් සලාකය කප්පාදු කිරීම නිසාය. අරගලයට වඩා විශාල වූ මෙහිදී උතුරේ මෙන්ම දකුණේ ජන නැගිටීමක් සිදුවිය. කාන්තාවෝ රේල් පාරේ ආප්ප පිච්චූහ. පොලිස් වෙඩි පහරින් අට දෙනෙක් මරුමුවට පත්විය. එය අරගලයේ පියා හෝ සීයා යැයි කිව හැකිය. මෙම නැගිටීම යටපත් කළ හැකි ආකාරයේ දරුණු චරිතයක් වූ සර් ජොන් කොතලාවල අගමැතිධුරයට පත් කළේය. එහි ප්‍රතිඵලය වූයේ ලංකා ඉතිහාසයේ පළමු නිහඬ විප්ලවය යැයි විරුදාවලිය ලත් 56 පෙරළිය ඇතිවීමය.
මෙවර සිදුවූයේ එහි ලොකු මුද්‍රණයකි. ගෝඨාභය රාජක්ෂ ආණ්ඩුවෙන් ගෙන ආ දැඩි ආර්ථික පීඩනය හා ඔහුගේ පැවති දැඩි අහංකාරය නිසා ඇතිවූ අරගලය සම්පූර්ණ වූයේ 2024 දී පැවති ඡන්ද දෙකෙනි. සමගි ජන බලවේගයට ජයග්‍රහණය ගැනීමට නොහැකිවී ජාතික ජන බලවේගයට මෙම ජයග්‍රහණය ගත්තේ කෙසේද යන්න තේරුම්ගත යුතු කරුණකි.
මෙම ජයග්‍රහණයේ පරිමාණය තේරුම් ගැනීමට නම් ලංකාවේ පසුගිය දශකයේ ඡන්ද හැසිරීම තේරුම් ගත යුතුය. පසුගිය දකශය තුළ ඔරලෝසු බට්ටා චලනය වන ආකාරයේ චලනයන් සිදුවිය. පසුගිය වසර දහය තුළදී තුන් වතාවකදී චලන සිදුවිය. යුද්ධය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය අවසන්වූයේ පරාජයකිනි. එය යහපාලන ආණ්ඩුව කරා දෝලනය විය. තනි වාරයක් තුළදී ගෝඨාභය රාජපක්ෂට ඉතා විශාල පැද්දීමක් ඇතිවිය. 2022 දී අරගලයෙන් ඔහු පන්නා ගනු ලැබීය. 2019 – 20 චලනයට වඩා වැඩි වේගයකින් ඉන් පසුව චලනය ඇතිවිය. දැන් ඇතිවී තිබෙන චලනය කොතැනින් අවසන් වේදැයි කිව නොහැකිය.
මේ වසරේදී පවතින ආණ්ඩුවලට විරුද්ධව රටවල් රාශියක මහජන ඡන්දයේදී පෙරළි ඇතිවිය. ආර්ථික අර්බුදය හමුවේ පවතින ජනතාවාදය වෙත එය තල්ලු විය. ඩොනල් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජයග්‍රහණය ඇතිවූයේ ලිබරල් ප්‍රතිමල්ලවයෙක් සිටියදීය. ලංකාවේදී එය වාමවාදීව සිදුවිය.
එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 56 දී නෙළාගත් ආකාරයට සමගි ජන බලවේගයට එම ජයග්‍රහණය නෙළාගැනීමට නොහැකිවූයේ මන්දැයි යන්න ගැන අවධානය යොමු කළ යුතුය. විසම්මුතිවාදී අගමැතිවරයෙක් ලෙස රණසිංහ ප්‍රේමදාසට විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්නද්ධ ජනතා විමුක්ති පෙරමුණට 88 දී ජයග්‍රහණය කළ ආකාරය ගැනත් අවධානය යොමු කළ යුතුය. මෙම ආකෘති දෙක අනුව යාමට සමගි ජනබලවේගයට නොහැකි විය. එහිදී සමගි ජන බලවේගය අසමත් විය.
මෙයට හේතුවූයේ සමගි ජන බලවේගයේ අනන්‍යතාව පිළිබද ප්‍රතිවිරුද්ධතාවක් පැවතීමය. 2019 ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය පසුබිම් කරගෙන මෙය විග්‍රහ කරගත යුතුය. ගෝඨාභය රාජපක්ෂයට විරුද්ධව සජිත් ප්‍රේමදාස සියයට 42ක් ලබා ගත්තේය. එදා සජිත් ප්‍රේමදාස පරාජයට පත්වන විට ගත් සියයට 42 මෙවර අනුර කුමාර දිසානයක ජයග්‍රහණය කරන විට ගත්තේය. අනුර කුමාර දිසානායක සියයට 3 සිට සියයට 42 ට පැන්න ආකාරයත්, සජිත් ප්‍රේමදාස තමන්ට තිබූ සියයට 42, සියයට 32 දක්වාත් පහළ දමාගනු ලැබීය.
ජවසම්පන්න ජනතාවාදී අපේක්ෂකයෙක් ලෙස එදා ඉදිරිපත්වූ සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය පිහිටුවා විපක්ෂ නායකධුරයට පත්වීමෙන් පසුව ඔහු ප්‍රතිපත්තිමය කල්ලියක ග්‍රහණයට ලක්විය.
සමගි ජන බලවේගය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව සජිත් ප්‍රේමදාස පැවැසුවේය. ඉමිතියාස් බාකීර් මාකාර් වැනි අය පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ සාධනීය ලක්ෂණ රැගෙන සමගි ජන බලවේගය ඉදිරියට යන බවය. ඒ දිසාව ඔස්සේ ඉදිරියට ගියේනම් පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර නොව සජිත් ප්‍රේමදාසය. 2020 පාර්ලිමේන්තු මැතිවරණ සටනින් ඉවත් වූ මංගල සමරවීර පැවැසුවේ සමගි ජන බලවේගය යනු මහින්ද රාජපක්ෂගේ ළා පැහැති පක්ෂයක් බවය. එම ළා පැහැති ගතිය තිබුණේ නම් 56 දී බණ්ඩාරනායක සහ 88 දී ආර්. ප්‍රේමදාස කළ දේ කිරීමට සමගි ජන බලවේගයට හැකියාව තිබුණේ නම් බලයට පත්වීමට හැකියාව තිබිණි.
මෙම අනන්‍යතා අර්බුදයෙන් දෙවැනි ව්‍යාපෘතිය වූයේ එක්සත් ජාතික පක්ෂය අපිය යන මතය. අපි තමයි අලුත් එක්සත් ජාතික පක්ෂය, අපි එක්සත් ජාතික පක්ෂයේ මාවත ඔස්සේ ඉදිරියට යා යුතු යැයි හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ දක්ෂිණාංශය ප්‍රකාශ කළහ. මේ මතය නොදැනුවත් මතයකි. නමුත් එය ජයග්‍රාහී මතයක් බවට පත්විය. මේ එක් අයෙක්වත් එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලය ගත්තේ කෙසේදැයි දැන සිටියේ නැත. දක්ෂිණාංශික හෝ නව ලිබරල් පක්ෂයක් ලෙස එය එවැනි බලයක් ගත්තේ නැත. 73 දී ජේ.ආර්. සහ ප්‍රේමදාස පක්ෂයේ බලය ගන්නා විට ජනතාවාදී පක්ෂයක් ලෙස එය ප්‍රතිසංවිධානය කළේය. ජනතාවාදී විපක්ෂයක් ලෙස 77 වන විට ඉදිරියට පැමිණියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පැමිණි රොනී ද මැල්ට ප්‍රබලම අමාත්‍යාංශය වන මුදල් අමාත්‍යාංශය දුන්නේ ඒ අනුවය. මෙය දැනගෙන සිටි, සමගි බලවේගයේ සිටි එකම පුද්ගලයා වූයේ ඉමිතියාස් බාකීර් මාකාර්ය. අලුත්වීගෙන පැමිණි එක්සත් ජාතික පක්ෂයේ තරුණ නායකයා ලෙස ඔහු කටයුතු කළේය. දෙවැනි පරම්පරාවේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වන ඔහු පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ සාධනීය කොටස් එක් කරගත්, රනිල් වික්‍රමසිංහ යටතේ වන ප්‍රතිගාමී පීලි පැනීම ප්‍රතික්ෂේප කළ නව පක්ෂයක් බව ඔහු පැවැසුවේය. මේ දෙක අතර සජිත් ප්‍රේමදාස දෝලනය විය.
අරගලය අවසන් වන තෙක් අරගලකාමී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය නිවැරදි පීල්ලේ ගමන් කළේය. අද වන විට විපක්ෂ නායකත්වය අල්ගැනීමට උත්සාහ කරන හර්ෂ – එරාන්ලා ඡන්දයෙන් රටේ නායකත්වයට පත්වූ පුද්ගලයෙක් සමග ඡන්ද සටන්වල සිට නැත. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි දන්නේ නැත. ඔවුන් දන්නේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ගැන පමණි.
‘බිස්නස් ටුඩේ’ සඟරාවේ 2000 වසරේ කළ විශේෂ ප්‍රකාශයේදී කවරයේ කතාව මගින් සාකච්ඡාව කළේ සිරිසේන කුරේ සමගය. එම සාකච්ඡාව පැවැත්වූයේ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේය. ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සියයට 25 දක්වා පහළ දමනු ඇතැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය. ඒ අනාවැකිය ඔහු කීවේ 2000 වසරේදීය. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ බලය ගැනීමෙන් පසුව කවදාවත් මැතිවරණයකින් රටේ නායකත්වයට පත්වීමට නොහැකි විය. අගමැති ධුරයට පත්වූයේ වසර 15ක අන්තර්කාලයකට පසුවය. 2003 න් පසුවය. එක්සත් ජාතික පක්ෂය යනු සිඳුණු පොකුණක් බව හර්ෂලා කබීර්ලා තේරුම්ගෙන තිබුණේ නැත.
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ සිටියදී පැවැති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුවට පරාජයට පත්විය. 2019 දී සියයට 42ක් සජිත් ප්‍රේමදාස ගත් නමුත් 2020 මහ මැතිවරණයේදි සියයට 23 දක්වා පහළ වැටුණේය. මේ වසරේදීත් සියයට 32ක් සජිත් ප්‍රේමදාස ගත් නමුත් මහ මැතිවරණයේදී එම ප්‍රතිශතය තවත් පහළ දමා ගනු ලැබුවේය.
විපක්ෂයේ සිටින පොහොට්ටුවේ පණ යම් ආකාරයකින් හෝ තබාගෙන සිටින්නේ නාමල් රාජපක්ෂ නිසාය. ඔවුන් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්නා අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම තෝරා ගැනීමට ඔවුන්ට තිබිණි. එසේ නම් ඩලස් සම්මුතියකින් ජනතා තරහව නිවා දමන්නට තිබිණි. එහෙත් ඔවුන් රනිල් වික්‍රමසිංහ තෝරා ගත්තේය. ඡන්දයෙන් පත්වූ ආකාරයට ඔහු පසුව හැසිරෙන්න පටන් ගත්තේය. එහි පරි පීඩනය ජනතාවට දැනෙන විට ප්‍රධාන විපක්ෂය කළ යුතුව තිබුණේ මැද මාවතේ ප්‍රගතිශීලිත්වයක් තුළින් එක්සත් ජාතික පක්ෂ විරෝධයට නායකත්වය දී සමාජ පෙරළියක් කිරීමය. එදා 56 දී බණ්ඩාරනායක, එන්. එම් පෙරේරාට අගමැති ධුරයට හිමි නොවී තමන්ට එය හිමිවන ආකාරයට කටයුතු කළ අයුරු ආදර්ශයට ගැනීමය. රටටම එපාවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක විසම්මුතිවාදී නායකයා ලෙස මැතිවරණයකට පැමිණ, ඉන්දියානු සාම සාධක හමුදාව යවන බවට සපථ කර, ජනසවිය දී ඡන්දය දිනුවේය. මෙම ආකෘතීන් සමගි ජනබලවේගය ඉදිරිපිට තිබියදී, එම පක්ෂය සිය දිවි හානි කරගත්තේය.
සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට නොහැකි ඊනියා ‘බ්ලූ ප්‍රින්ට්’ යන්න සජබය ඉදිරියට දමාගත්තේය. ප්‍රේමදාස කීවේ නැති බැරි ජනතාව ඇති හැකි අය කරන බවය. සමගි ජනබලවේගයට කියන්න තිබුණේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවය. එහෙත් සමගි ජනබලවේගයේ අය කීවේ ආර්ථික කවුන්සිලයක් ඇති බවය. ගමට ගොස් කීවේ තමන්ට ‘ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට්’ එකක් ඇති බවය. රනිල් වික්‍රමසිංහගේ අර්ථික දර්ශනයෙන් අපේ දිශාවේ වෙනසක් නොමැති බව පැවැසුවේය. එසේ කරන විට අනුර කුමාර දිසානායකට ගෝල් පිට ගෝල් ගැසීමට හැකි ආකාරයට ගෝල් රකින්නා පැත්කකට විය. එරාන් වික්‍රමරත්නලා අදත් ප්‍රසිද්ධියේ කියන්නේ සමගි ජන බලවේගයේ සිටියාට තමන් එක්සත් ජාතික පක්ෂයේ බවය. රූපවාහිනී විවාදවලට යන අයත් කීවේ අපිට ආර්ථික කවුන්සිලයක් ඇති බවත්, හොඳ කණ්ඩායමක් සිටින බවත්ය. ජනාධිපතිවරණයේදී කණ්ඩායමක් සොයන්නේ නැත. සොයන්නේ පුද්ගලයෙකි. සමගි ජන බලවේගයේ පරාජය විහින් කරගත් වැඩකි.
ගෑස් සිලින්ඩරය සමගි ජන බලවේගය වැනි පක්ෂයක් නොවේ. සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කළ මන්ත්‍රිවරු තිස් පස් දෙනෙක් සිටිති. එයින් පස් දෙනෙක් සුළු ජාතික පක්ෂ නියෝජනය කරන්නෝය. 1970 දී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වන විට විපක්ෂයේ සිටියේ මීට වඩා කුඩා මන්ත්‍රි කණ්ඩායමකි. මියැදෙමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ රෝගය සමගි ජන බලවේගයට බෝ කළ දක්ෂිණාංශික කණ්ඩායම් සජිත් ප්‍රේමදාස පෙරළීමට උත්සාහ ගනිමින් සිටී. සජිත් ප්‍රේමදාස වෙනුවට විපක්ෂ නායකත්වයට පත්වීමට උත්සාහ ගන්නා එක් අයෙක්, සජිත්ට වඩා ඡන්ද හැට දහසක් අඩුවෙන් ගත් අයෙකි. අනෙකා පරාජයට පත්වූ අයෙකි. ඔහු තමන්ගේ නම නැති ජාතික ලයිස්තුවෙන් පත්වීමට උත්සාහ ගන්නා අයෙකි.
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් පක්ෂයේ ලේකම් පත්වූයේ නම් සභාපතිවරයාත් පත් විය යුතුය. එනම් ඉමිතියාස් බාකීර් මාකාර්ද පත්විය යුතුය. ඉමිතියාස්වත් පත් නොකර පරාජයට පත්වූ අය පත්වූවහොත් පක්ෂය තවත් පහළට ඇදගෙන යනු ඇත. එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම තවත් වළට යාමක් වනු ඇත. දක්ෂිණාංශික යැයි කියාගෙන පැමිණි කඳවුරු කවදාවත් මැතිවරණ ජයග්‍රහණය කළේ නැති බව සිහි තබාගත යුතුව ඇත. 1976 මැයි දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ ‘සියරට’ පුවත්පතේ මුල් පිටුවේ ඉහළින් රතු පැහැයෙන් දෑකැත්ත සහ මිටිය සටහන් කළේය. 78 නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ජේ.ආර්.ට ලැබුණ විට සමාජවාදී ජන රජය යන කොටස ඇතුළත් කළේය.
විපක්ෂ අවකාශය තුළ යම් වර්ධනයක් ඇතිවූයේ නාමල් රාජපක්ෂ නායක්තවය දෙන පොහොට්ටුවයි. ඉදිරියේදී ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීමට සිදුවන විට පීඩනය කොතැනින් හෝ පිටවනු ඇත. නාමල්ගේ කණ්ඩායම හෝ ආණ්ඩුව ඇතුළෙන් කණ්ඩායමක් හෝ වෙනැත් කොතැනකට හෝ එය පැද්නෙු ඇත. එයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න පමණක් ප්‍රශ්නාර්ථකයක් ලෙස පවතිනු ඇත. 70 දී මැතිනිය තුනෙන් දෙකක් ගත් විට ඊට පසුව පැවැති ඡන්දයෙන් ආසන 17 ට බැස තිබූ විපක්ෂය හයෙන් පහක බලයක් ගනු ඇතැයි විශ්වාස කළේ කවුද? රටේ දේශපාලන ඉතිහාසය මෙයයි. එය නැවත සිදුවිය හැකිය.
මේ මතුවීම සජිත් ප්‍රේමදාසගේ අතට ගැනීමට නම් ඔහු තවත් ටිකක් සිය පියාගෙන් පාඩම් උගත යුතුය. ඒ අතරම දයාසිරි ජයසේකර එක් කරගෙන ඉදිරියට යා යුතුය. 2019 දී සියයට 42ක් ගත් සජිත් ප්‍රේමදාස බවට පත් විය යුතුය. බ්‍රසීලයේ ලූලා ද සිල්වා දෙවරක් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී තුන්වැනි වර ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය. දෙවරක් පරාජයට පත්වීමෙන් තුන්වැනි වර ජයග්‍රහණය කළ නොහැකි බවක් ඇගවෙන්නේ නැත. එවැනි ජයක් ලැබීමට නම් සජිත් ප්‍රේමදාස මතවාදී නායකත්වයක් දිය යුතුය. ඔහුට හැකියාව ඇති නමුත්, පවතින විභවය සැබෑවක් වනවා යැයි කිසිම සහතියක් නැත. හැමදාමත් ඔය විභවය පවතින්නේ නැත. විපක්ෂ අවකාශය තුළ එවැනි විභයවක් ඇති එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස නොවේ. තමන්ගේ පක්ෂයේ බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහ සමග එක්වන විට නොබියව පක්ෂයට නායකත්වය දීමෙන්, නාමල් බය නැති පුද්ගලයෙක් බව බොහෝ දෙනා අවබෝධ කරගත්තේය.
ඔහුට ඇති අභියෝගය වන්නේ ඔහු වටා තිබෙන ගෝත්‍රය කප්පාදු කිරීමය. පවුලේ අය ඉවත් කර සිය පියාගේ නාමයෙන් පමණක් ඉදිරිපත් වීමට ඔහුට සිදුවනු ඇත.
දැන් අලුත් බලවේගයක් නිර්මාණය කළ යුතුව ඇත. ආකර්ෂණය නායකත්වයක්, වැඩපිළිවෙළක්, පක්ෂ ප්‍රතිසංවිධානයක් විපක්ෂයේ සිට කළ යුතුය. එය දැන් සිටින ආකාරයෙන් සිටීමෙන් වැඩක් වන්නේ නැත. ඩඩ්ලිගෙන් පැරදුණ එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. සම්පූර්ණයෙන්ම වෙනස් කළාය. මැතිනියගෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා සම්පූර්ණයෙන්ම වෙනස් කළහ. එය කළ හැකි නම් ජයග්‍රහණය කළ හැකිය.
රටේ ජනතාව අලුත් ආණ්ඩුවකට යම් කාලයක් දෙනු ඇත. 2027 සිට ණය ගෙවීම් කරන විට අර්බුදය කොතැනකින් හෝ පුපුරා යනු ඇත. එයට විපක්ෂය සූදානම් විය යුතුය. ඒ අනුව ස්ථාන ගත විය යුතුය.
සංජය නල්ලපෙරුම