දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණයෙන් හරක් මස් ජාවාරම කළැයි කියන පාපන්දු ක්‍රීඩකයෙක් ඇතුළු නව දෙනෙක් අගුණකොළපැලැස්ස පොලිසිය විසින් ⁣අද (8 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2012 – 2016 කාලයේදී පාපන්දු ක්‍රීඩා කළ කොම්පඤ්ඤවීදියේ පදිංචි ක්‍රීඩකයෙක්, වීරකැටිය, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවෝ නව දෙනෙක් වෙති.

සැකකටයුතු ලොරි රථයක් සහ කැබ් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස හැලේකඩ මුරපොළ අසලදී පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබිණි.

නීති විරෝධීව ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනාකමකින් යුතු හරක් මස් කිලෝග්‍රෑම් 1950ක් සොයාගෙන තිබිණි.

එළදෙනුන් 10ක් සහ එළ ගවයන් දෙදෙනකු ඝාතනය කර මෙහි පටවාගෙන ගොස් තිබී ඇති අතර ඝාතනය කළ සතුන්ගේ හිස් කොටස්ද ලොරි රථයේ තිබී ඇත.

ලොරි රථය මස් ප්‍රවාහනය කිරීම සඳහා ශීතකරන සහිතව සකස්කර තිබී ඇත. ලොරියේ සහ කැබ්රියේ ගමන් ගත් තිදෙනකු එම අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ගව ඝාතකාගාරය තිබෙන ස්ථානය අගුණකොළපැලැස්ස පොලිසිය සොයාගෙන තිබිණි. අගුණකොළපැලැස්ස බූවැලිආර ප්‍රදේශයේ කැලයක් තුළ ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් තිබී ඇත. එහි ඝාතනය කිරීමට සූදානම් කර තිබූ එළ ගවයන්, එළදෙනුන් සහ පැටවුන් 16 ක් පොලිස් භාරයට ගෙන තිබිණි. මීට ඉහතදී ඝාතනය කළ ගවයන්ගේ හම් කොටස් ඝාතකාගාරය අසල වල දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි.

ඝාතකාගාරයේ සිටි සැකකරුවන් හය දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හිටපු පාපන්දු ක්‍රීඩකයකුද ඒ අතර සිටි බව පොලිසිය කියයි.

මස් ප්‍රවාහනය කිරීමට යොදාගත් තවත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් වීරකැටිය ගෝනදෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here