මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ දී අද (16) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් මහනුවර ගැටඹේ මහානාම විදුහලේ උසස් පෙළ හදාරමින් සිටි 17 හැවිරිදි සිසුවියක් මියගොස් ඇත.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා සිසුවිය පියා සමඟ ගෙළිඔය සිට යතුරුපැදියකින් මහනුවරට පැමිණෙමින් සිටිය දී යතුරුපැදියෙන් ඇද වැටී තිබෙන සිසුවිය ඊට පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයකට යටවී තිබෙන බව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ඉෂාලා දේශානි කැතිකැනැල්ල නැමැති ගෙළිඔට පෙතියාගොඩ පදිංචි සිසුවියකි.

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ යතුරු පැදිය ලිස්සා යාමෙන් සිසුවිය විසීවී ගොස් ඇද වැටීමෙන් පසු ඇය බස් රථයට යට වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

අනතුරින් සිසුවිය එම ස්ථානයේදීම මියගොස් ඇත. යතුරු පැදිය පැදවූ පියාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව ද පොලීසිය පැවසීය.

සිද්ධියෙන් පසු පෞද්ගලික බස් රථයේ රියදුරු මහනුවර පොලීසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝට්ටේගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here