හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS ත්‍රස්තයින්ගේ මෙන් ම එල්.ටී.ටී.ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.
අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබාදී සිටි ඉතිරි හමුදා නිලධාරීන් ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉවත් කළ බවයි අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාර සිටි පොලිස් අධිකාරි එම්. එස්. ඩී වික්‍රමසිංහ 2024 ඔක්තෝබර් මස 10 වැනි දින ප්‍රභූ ආරක්ෂක කමිටුව විසින් ඉල්ලන ලද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවටත් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ලබාදෙන ලෙස පැවසූ වාර්තාව යොමු කර ඇති බවද ඔහු සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය විනාශ කිරීමට ඩ්‍රෝන සමග එක් කළ බෝම්බ ප්‍රහාරයක් ද සූදානම් කර ඇති බවත් එය ISIS ත්‍රස්ත සංවිධානය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවටත් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු 04 ක දැක්වෙන බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම ඊට අමතරව එල්.ටී.ටී. ඊ සහ පාතාල කල්ලි වෙතින් ද හිටපු ජනාධිපතිවරයා වෙත දරුණු ගණයේ ජීවිත තර්ජන එල්ල වී ඇති පසුබිමක පොලිස් ආරක්ෂාවක් පමණක් යොදවා සන්නද්ධ දැනුමින් සහ අත්දැකීමෙන් සපිරි හමුදා නිලධාරීන් රජයට වැඩි පිරිවැයක් යැයි පවසමින් ස්ථාන මාරු කර කඳවුරු වෙත යැවීම සිදු කළ ද රජයට ඔවුන්ට ලබා දිය යුතු වැටුප් සහ පහසුකම් අඛණ්ඩ ව සැපයිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.