දඹදිව සිද්ධස්ථාන අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(5) පැවසීය.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වන ජන්ම දෙන පුණ්‍යෝත්සවය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කතාව පහතින්,

උපුටා ගැනීම ……………………………………….

මෙහි රැස්ව සිටින ගිහි පිරිස අතුරින් වැඩිම කලක් බානගල මහනාහිමියන් ආශ්‍රය කළේ මමයි. හෙයියන්තුඩුව අබේසේකරාරාමයෙන් උන්වහන්සේගේ ගමන ආරම්භ කරනු ලැබුවා.

1977 මැතිවරණයට යාමට පෙර මමත් මව සමග අබේසේකරාරාමයට ගියා. ඒ පූජාව පැවැත්වූයේ ලොකු හාමුදුරුවන් වහන්සේයි. අප දෙන්නාම ආවේ එතනින් මම බියගම මන්ත්‍රී වුනා. ඒ කාලයේ දියුණුව ඇති කිරීම සඳහා බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේත් විශාල වගකීමක් ගත්තා. යොශීඩා ආයතනයේ එම මැතිනියත් පැමිණ අප හමුවී තිබෙනවා. යොශීඩා ආයතනය තුළින් එම ප්‍රදේශයේ දියුණුව ඇති කළා. එම පෙර පාසල් දැන් රට පුරා ඇති කර තිබෙනවා.

උන්වහන්සේ සමග මහා බෝධි සංගමයත් එම වැඩ කටයුතු පටන් ගෙන තිබෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේගේ ජපන් පන්සලට යෑමටත් මට අවස්ථාව ලැබුණා. එය අමතක නොවන සිද්ධියක් ලෙස අපට සලකන්න පුළුවන්.උන්වහන්සේ සිදුකර තිබෙන මේ වැඩකටයුතු ගැන මතක් කර උන්වහන්සේට දිගාසිරි පතන්න මම කැමතියි.ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශවලත් උන්වහන්සේ සිදු කර තිබෙන වැඩකටයුතු ගැන අප දන්නවා.

මා පසුගිය දිනවල ඉන්දියාවේ ඉන්දෝර් හි මධ්‍ය ප්‍රදේශ් වලට ගියා. අපි සාංචියට ගිය අවස්ථාව එහිදී මට මතක් වුණා. එදා පටන් සාංචියේ ඇතිකර තිබෙන දියුණුව පිළිබඳව අප සිහිපත් කළ යුතුයි.

ගිය සතියේදී ලුම්බිණියේ සංචාරය කරන්නට මට අවස්ථාව ලැබුණා. දැන් ඒ ගොඩනැගිලි අලුත්වැඩියා කරන්නට උවමනා වී තිබෙනවා. විදේශ මැතිතුමා සමගද මේ ගැන සාකච්ඡා කළ යුතුයි. ඒ සිද්ධස්ථාන දියුණු කිරීම ලංකා ආණ්ඩුවද බාරගෙන තිබෙනවා.

එම ස්ථානයේ විශාල විහාරයක් පිහිටුවා නැත්තේ අප පමණයි.චීනයෙන් විශාල සිද්ධස්ථානයක් පිහිටුවා තිබෙනවා. තායිලන්තයෙන්ද විහාරයක් හදා තිබෙනවා.එම නිසා අපේ දානපතියන් සමග එක්ව ලුම්බිණියේ අපේ විහාරස්ථානයක් අරඹන්න අවශ්‍යයි.ඒ සම්බන්ධයෙන් අනාගතයේදී සාකච්ඡා කළ හැකියි.

කර්මණ්ඩු වල ආනන්ද කුටියට යාමට මට අවස්ථාවක් ලැබුණා. 2015 භූමි කම්පාවෙන් එය සම්පූර්ණයෙන්ම නැති වූ විට එය අලුතින් ගොඩනැගීම සඳහා අප ඩොලර් මිලියන දෙකක් ලබා දුන්නා. එම ආනන්ද කුටිය නැවත සකසා තිබෙන්නේ අපේ යුද හමුදාවේ ශ්‍රමයෙන්. ඒ ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා ලංකාවේ ඉගෙන ගත් නිසා අපට වඩා හොඳින් සිංහල කතා කරන්න පුළුවන්.

අප ඒ සබඳතා ගොඩනඟා ගත යුතුව තිබෙනවා. ලංකාවේ ථෙරවාද සංගම් සමග ඒ සබඳතා වර්ධනය කර ගත යුතුයි. එමෙන්ම කපිලවස්තුපුරයට යාමටත් මට අවස්ථාව ලැබුණා. කපිලවස්තුවේ තව වැඩ කටයුතු ගණනාවක් කරන්න තිබෙනවා. අපේ බානගල නාහිමි වැනි ස්වාමීන් වහන්සේලා ලංකාවෙන් පිට කරන වැඩ කටයුතු ගැන මට එහිදී මතක් වුණා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මරදාන මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ දී මෙම පුණ්‍ණ්‍යේත්සවය පැවැත්විණි.

උපුටා ගැනීම අවසන් …………………………

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here