දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ 19 හැවිරිදි දියණිය පැහැර ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දවුලගල හා ගම්පොළ පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී  කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා (11) පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර ඇත.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින තරුණයා මුලින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇත. අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු ලක්ෂ 02 ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී තිබේ. එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50000 ක මුදලක් අදාළ ගිණුමට බැරකර ඇත.

පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී තිබේ. සිසුවිය පාසල් නිල ඇදුමින් සැරසී මිතුරිය සමඟ පංතියට යමින් සිටිය දී ඔවුන් එන අතරමග නතර කර තිබෙන වෑන් රථයෙන් බසින ඇගේ ඥාති සහෝදරයා බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වා ගන්නා අයුරු සී.සී.ටී.වී කැමරාවල පැහැදිලිව සටහන්ව තිබේ.

එම අවස්ථාවේ එක් තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා වෑන් රථයේ එල්ලී මීටර් 500 ක පමණ දුරක් ගමන් ගෙන තිබෙන අතර ඔහුට පහර දී බිම දැමීමට සැකකරු සමත්ව ඇත.

ඒ ආසන්නයේ තිබූ යතුරු පැදියකින් කිලෝ මීටර් 20 ක පමණ දුරක් පාසල් ගුරුවරයෙකු වෑන් රථය ලුහුබැඳ ගොස් තිබේ. කටුගස්තොට නගරයේ දී ඔහුට වෑන් රථය මග හැරී තිබෙන අතර පසුව අදාළ වෑන් රථය පොළොන්නරුව නගරය  ආසන්නයේ අතහැර දමාගොස් තිබිය දී පොලීසිය පෙරේදා (11) පස්වරුවේ සොයා ගෙන තිබේ. 

වාහන කුළියට ලබාදෙන ස්ථානය මගින් වෑන් රථයේ ජී.පී.එස් තාක්ෂණ උපාංග සවිකර තිබීම නිසා වෑන් රථය සොයා ගැනීම පහසු වූ බව පොලීසිය පවසයි.

සිසුවිය පැහැරගත් අවස්ථාවේ වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා යළි නිවසට පැමිණෙමින් සිටිය දී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

දහනව හැවිරිදි සිසුවිය සැකකරු ගේ මවගේ සහෝදරයාගේ දියණිය බවත් සැකකරු පැහැර ගැනීමට ලක් වූ තරුණිය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.                                                                                                                                         

සිසුවියගේ පාර්ශවය පවසන්නේ කලක් ජපානයේ රැකියාවක් කර තිබෙන සැකකරු මේ වන විට  මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින බවයි. මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අනාවරණයක් කරගත හැකි වන්නේ සිසුවිය සොයා ගැනීමෙන් පසු ඇය ලබාදෙන ප්‍රකාශය අනුව බව පොලීසිය පවසයි. 

සිසුවිය සොයා පොළොන්නරුව ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබෙන අතර ජංගම දුරකතනයෙන් සැකකරු ලබාගත් ඇමතුම් සම්බන්ධ වූ දුරකතන කුළුණු ඔස්සේ ඔහු සිටින ප්‍රදේශය සොයා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත දවුලගල හා ගම්පොළ පොලීසි මගින් විමර්ශන සිදු කරයි. 

(කමල් සුරවීර  මහනුවර)

https://twitter.com/basnayakem/status/1878372107270365635?s=48

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here