අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව, මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආශ්‍රිත පහත් බිම් සඳහා ඉදිරි පැය 24 දක්වා කාලය තුළ සුළු ගංවතුර තත්ත්යක් පැවතීමේ අවධානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තවද, මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල  පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව පැවසයි.

මේ හේතුවෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මීට අමතරව, නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන අතර, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව‍ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය සඳහා අවදානයෙන් සිටින ලෙස දන්වා තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන් ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here