මේ දිනවල ඇදහැලෙමින් පවතින අයහපත් වර්ෂාපතනය නිසාවෙන් ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර එළුවන්කුලම වනජීවි ඒකකය සදහන් කරයි.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ඝණ අඩි 6000ක් පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතින අයුරු දැක ගත හැකිවේ.
මේ හේතුව නිසාවෙන් මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා ඇති බවයි. වනජීවි නිළධාරින් සදහන් කරන්නේ. ඒ අනුව දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැණුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹිමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ලංකාවට ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස හැදින්වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් නිරායාසයෙන්ම පැමිණෙන බවද කියයි. නමුත් මේ දිනවල පවතින අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් සංචාරකයින්ට උද්‍යානය නැරඹීමට නොහැකිව යාම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක්ද දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බව එළුවන්කුලම සෆාරි සංසදයේ රියදුරු මහතුන් පවසයි.
දෙස් විදෙස් සංචාරකයින්ට විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා විවෘත කර ඇති පිවිසුම් දොරටු අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ එළුවන්කුලම පිවිසුම් දොරටුවට බව කියයි. එයට හේතුව ලෙස බොහෝ අය පෙන්වා දෙන්නේ. දෙස් විදෙස් සංචාරකයින්ට වනෝද්‍යානයට ඉක්මණින් ප්‍රවේශ වීමට ඇති කෙටිම මාර්ගය බවත්, මෙම උද්‍යාන කොටස තුළ දිවියන්, ඇතුන්, වළසුන්, අලි සහ අනෙකුත් සතුන් පහසුවෙන් නැරඹීට ඇති හැකියාවද සපිරෙන බවයි.
මේ නිසාවෙන් දිනකට මෙම උද්‍යානය නැරඹීම සදහා පැමිණෙන එක් විදෙස් සංචාරකයෙකුගෙන් ඇමරිකන් ඩොලර් 25 සහ එයට අදාල බදු වශයෙන් තවත් ඩොලර් 10ක මුදලක් ලබා ගැනීම සිදු කරන අතර, මේ හේතුව නිසාවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඩොලර් පොම්ප කරන ස්ථානයක බවට උද්‍යානය පත්ව තිබෙන බව කියයි.
(පුත්තලම ප්‍රියංකර කළුපහන)